ඇමෙරිකා රාජ්‍ය ලේකම් හමුවෙයි



ඇමෙරිකාවට පැමිණි, උතුරු කොරියා නායක කිම් ජොන් උන්ගේ ‘දකුණු අත’ ලෙස සැළකෙන හමුදා ප්‍රධානී ජනරාල් කිම් ජොන්ග් චෝල් සහ ඇමෙරිකා රාජ්‍ය ලේකනම් මයික් පොම්පේඕ අතර හමුවක් සවස නිව්යෝක් නුවරදී පැවැත්විණි.

මෙම හමුව පැවැත්වූයේ ලබන 12 වැනිදා සිංගප්පූරුවේදී පැවැත්වීමට නියමිත ට්‍රම්ප් සහ උතුරු කොරියා නායක කිම් ජොන් උන් අතර පැවැත්වෙන ‘සාම සමුළුව’ මුල්කොට ගනිමින්ය.

වසර 20 කට පසු, උතුරු කොරියා රජයේ ජ්‍යෙෂ්ඨ නිලධාරියකු ඇමෙරිකාවට පැමිණ ඇමෙරිකන් රාජ්‍ය නිලධාරීන් සමඟ සාකච්ඡා පැවැත්වුණු පළමු අවස්ථාව මෙය යැයි පැවැසෙයි.

සිංගප්පූරුවේදී පැවැත්වීමට නියමිත ‘සාම සමුළුව’ සිදුවනු ඇත්තේ කෙසේදැයි යන්න සම්බන්ධයෙන් සහ එහිදී කුමන කරුණු කාරණා සාකච්ඡා විය යුතු ද යන්න සම්බන්ධයෙන් ජනරාල් කිම් ජොන්ග් චෝල් සහ ඇමෙරිකා රාජ්‍ය ලේකම් මයික් පොම්පේඕ අතරේ සාකච්ඡා පැවැත්විණි.

ජනරාල් කිම් ජොන්ග් චෝල් නිව්යෝක් බලා පැමිණියේ චීනයේ බීජිං අගනුවර හරහාය. නිව්යෝක් නුවරට පැමිණි ජනරාල් කිම් ජොන්ග් චෝල් වෙනුවෙන් විශේෂ රාත්‍රී භෝජන සංග්‍රහයක් පැවැත්වීමට ඇමෙරිකා බලධාරීහු කටයුතු කර තිබුණාහ.

ජනරාල් කිම් ජොන්ග් චෝල් සහ ඇමෙරිකා රාජ්‍ය ලේකම් මයික් පොම්පේඕ සමඟ පැවැති සාකච්ඡා සාර්ථක වී ඇති බවත්, ලබන 12 වැනිදා සිංගප්පූරුවේදී පැවැත්වීමට නියමිත සාම සමුළුවට සියලු කටයුතු සූදානම් වෙමින් පවතින බවත් ඇමෙරිකා ජනාධිපති ඩොනල්ඞ් ට්‍රම්ප් ට්විටර් පණිවුඩයක් නිකුත් කරමින් පවසා ඇත.

උතුරු කොරියා නායක කිම් ජොන් උන් සාම මාවතකට පිවිස සිටී. ඔහුගේ අදහස වී ඇත්තේ කොරියා අර්ධද්වීපය න්‍යෂ්ටික අවිවලින් තොර කලාපයක් බවට පත් කිරීමය. දකුණු කොරියා ජනාධිපති මූන් ජේ ඉන්ගේ සහාය ද නොඅඩුව ඊට හිමිවෙයි. සිංගප්පූරුවේදී පැවැත්වීමට නියමිත ‘සාම සමුළුවට’ තමන් ද සහභාගී වන බව දකුණු කොරියා ජනාධිපති මූන් ජේ ඉන් පවසා ඇත.

(ඒ.එෆ්.පී.)


RECOMMEND POSTS