ඇමෙරිකා රජය අඩපණවී දින 35 යි



ඇමෙරිකා රජය මුහුණ පා සිටින අර්බුදය අවසන් කිරීමේ අරමුණින්, එරට සෙනට් මණ්ඩලයට නව පනත් කෙටුම්පත් දෙක ඉදිරිපත් වූ නමුත් ඒවා ද සම්මත කර ගැනීමට නොහැකි විය.

එම පනත් කෙටුම්පත් සෙනෙට් මණ්ඩලය හමුවේ සම්මත වූයේ නම්, දින 35 ක කාලයක් පුරාවට ඇමෙරිකා රජය මුහුණ පා සිටින අර්බුදය අවසන් වීමට ඉඩ තිබුණි යැයි දේශපාලන විශ්ලේෂකයෝ පෙන්වා දෙති. ඇමෙරිකා රජය දීර්ඝ කාලයකට අකර්මණ්‍ය වූ ඉතිහාසයේ පළමු අවස්ථාව මෙය යැයි ද පැවැසෙයි.

රජය අකර්මණ්‍ය වූයේ අයවැය සම්මත කර ගැනීමට නොහැකි වී ඇති නිසාය. අයවැය සම්මත කර ගැනීමට නොහැකි වූයේ, ඇමෙරිකා ජනාධිපති ඩොනල්ඞ් ට්‍රම්ප් ඇමෙරිකා මෙක්සිකෝ දේශසීමාවේ ඉදිකිරීමට යෝජිත දේශසීමා ප්‍රාකාරය හේතුවෙනි.

ඇමෙරිකා පාර්ලිමේන්තුව (කොංග්‍රස් මණ්ඩලය) නියෝජිත මන්ත්‍රී මණ්ඩලය සහ සෙනෙට් මන්ත්‍රී මණ්ඩලය අවශයෙන් කොටස් දෙකකි. නියෝජිත මන්ත්‍රී මණ්ඩලයේ මේවනවිට බහුතර බලය ඇත්තේ ට්‍රම්ප්ගේ රිපබ්ලිකන්වරුන් සතුව නොව, ප්‍රතිවාදී ඩිමොක්‍රටික්වරුන් සතුවය.

ජනපති ට්‍රම්ප් අයවැය ලේඛනය නියෝජිත මන්ත්‍රී මණ්ඩලයට ඉදිරිපත් කළ අවස්ථාවේදී, ඊට දේශසීමා ප්‍රාකාරය වෙනුවෙන් මුදල් වෙන් කර තිබුණි. දේශසීමා තාප්පයට ඩිමොක්‍රටික්වරුන්ගේ විරෝධය එල්ල වන අතර, ඔවුන් ඒ වෙනුවෙන් ඇමෙරිකන් ඩොලර් බිලියන 5.7 ක මුදලක් වෙන් කිරීම ප්‍රතික්ෂේප කළේය.

ඒ අනුව, අයවැය සම්මත කර ගැනීමට නොහැකි විය. ෆෙඩරල් සේවක සේවිකාවන්ට සහ ආයතනවලට මුදල් වෙන් කිරීම ඇණ හිටියේය. ඇමෙරිකා රජයෙන් සියයට 25 ක් පසුගිය දෙසැම්බරයේ සිට අකර්මණ්‍ය විය.

ඇමෙරිකන් සෙනෙට් මණ්ඩලයේ බහුතර බලය ඇත්තේ ට්‍රම්ප්ගේ රිපබ්ලිකන්වරුන් සතුවය. සෙනෙට් මණ්ඩලයට ඉදිරිපත් කෙරුණු පනත් කෙටුම්පත් දෙකෙන් එකක්, ජනාධිපති ට්‍රම්ප් සහ රිපබ්ලිකන් පාක්ෂිකයන් විසින් ඉදිරිපත් කළ පනත් කෙටුම්පතකි. අනෙක ප්‍රතිවාදී ඩිමොක්‍රටික්වරුන් ඉදිරිපත් කළ පනත් කෙටුම්පතක් යැයි ඇමෙරිකන් පුවත් සේවා පෙන්වා දෙයි.

ඇමෙරිකා මෙක්සිකෝ දේශසීමාව හරහා, නීතිවිරෝධී ලෙස කුඩා දරුවන් ලෙස ඇමෙරිකාවට පැමිණි තරුණ තරණියන්ට ‘තාවකාලික රැකවරණයක්’ දීමට ජනපති ට්‍රම්ප් කැමැත්ත පළ කර ඇති අතර, සෙනෙට් මණ්ඩලයට යොමු කෙරුණේ ඒ සම්බන්ධයෙන් සැකැසූ පනත් කෙටුම්පතය.

ට්‍රම්ප් ඩිමොක්‍රටික්වරුන්ට යෝජනා කළේ, තමා එසේ සංක්‍රමණිකයන්ට තාවකාලික රැකවරණයක් දීමට කැමැති නිසා, මෙක්සිකෝ දේශසීමාවේ ප්‍රාකාරයක් හෝ යකඩ වැටක් හෝ ඉදි කිරීමට අනුමැතිය දෙන ලෙසය. කෙසේ නමුත් එම යෝජනාවට ද ඩිමොක්‍රටික්වරුන් විරෝධය දැක්වීය. ඒ අනුව, සෙනෙට් මණ්ඩලයට ඉදිරිපත් වුණු පනත් කෙටුම්පත සම්මත කර ගැනීමට නොහැකි විය.

ඩිමොක්‍රටික්වරුන් සෙනෙට් මණ්ඩලයට ඉදිරිපත් කළ පනත් කෙටුම්පත හරහා සති තුනක් සඳහා රජයට අවශ්‍ය ප්‍රතිපාදන හිමිවීමට යෝජනාව කර තිබුණි. කෙසේ නමුත් ට්‍රම්ප්ගේ ප්‍රාකාරය ඉදිකිරීමට මුදල් වෙන් කිරීම සම්බන්ධයෙන් එහි කිසිදු සඳහනක් නොතිබුණි. ඒ අනුව, ඩිමොක්‍රටික්වරුන්ගේ පනත් කෙටුම්පත ද සම්මත වූයේ නැත.

සෙනෙට් මණ්ඩල නායක රිපබ්ලිකන් අපේක්ෂක මිච් මැක්කෙනෙල් පනත් කෙටුම්පත් සෙනට් මණ්ඩලයට ඉදිරිපත් කිරීමට පෙර සිටම පවසා තිබුණේ, ජනාධිපති ඩොනල්ඞ් ට්‍රම්ප් අත්සන යොදන්නේ නැති කිසිදු පනත කෙටුම්පතක් සෙනෙට් මණ්ඩලයට ඉදිරිපත් කිරීමෙන් වළකින ලෙසය. කෙසේ නමුත් ඇමෙරිකා රජය මුහුණ පා සිටින අර්බුදයට කඩිනමින් විසඳුමක් අවශ්‍ය බව මැක්කොනෙල් අවධාරණය කර තිබුණැයි ඇමෙරිකන් මාධ්‍ය වාර්තා කර තිබේ.

වොෂින්ටනයේදීය
(ඒ.එෆ්.පී.)


RECOMMEND POSTS