ඇමෙරිකා ජාතික ආරක්ෂක උපදේශක රොබට් ඕ බ්‍රයන්



ජෝන් බෝල්ටන් ඉවත් කිරීමෙන් පුරප්පාඩු වුණු ජාතික ආරක්ෂක උපදේශක ධුරයට ඇමෙරිකා රාජ්‍ය දෙපාර්තමේන්තුවේ ප්‍රාණ ඇපකරුවන් මුදා ගැනීමේ ඒකකයේ ප්‍රධානී රොබට් ඕ බ්‍රයන් නම් කිරීමට ඇමෙරිකා ජනාධිපති ඩොනල්ඞ් ට්‍රම්ප් පියවර ගෙන ඇත.

ජනාධිපති ඩොනල්ඞ් ට්‍රම්ප්, ආරක්ෂක ලේකම් ධුරයේ කටයුතු කළ ජෝන් බෝල්ටන් එම ධුරයෙන් නෙරපා දැම්මේ, දෙදෙනා අතර විදෙස් ප්‍රතිපත්ති සම්බන්ධයෙන් හටගත් මත ගැටුම් හේතුවෙනි.

ජාතික ආරක්ෂක උපදේශක ධුරයට තමන් නම් කිරීම සම්බන්ධයෙන් සතුටට පත් වන බවත්, එය අභියෝගාත්මක ධුරයක් බවත්, ට්‍රම්ප් පරිපාලනය සමඟ එක්වී කටයුතු කරන්න සූදානම් බවත් රොබට් ඕ බ්‍රයන් පවසා තිබේ.

‘මාව ජාතික ආරක්ෂක ලේකම් ධුරයට නම් කිරීම මට ලොකු ගෞරවයක්. ජනාධිපති ට්‍රම්ප් සමඟ කටයුතු කරන්න මම සූදානම්. ඇමෙරිකාව ආරක්ෂිත තැනක් බවට පත් කිරීම, ඇමෙරිකන් හමුදාව යළි ගොඩනැගීම ට්‍රම්ප්ගේ බලාපොරොත්තුවයි. ඊට සහාය දක්වන්න මම සූදානම්’ යැයි රොබට් ඕ බ්‍රයන් පවසා ඇත.

සංක්‍රමණිකයන් සම්බන්ධයෙන් පවතින අර්බුදය, ඇමෙරිකා ඉරාන අර්බුදය සහ ඇමෙරිකා උතුරු කොරියා සාම කතා ඉදිරියට රැගෙන යෑම රොබට් ඕ බ්‍රයන්ට පැවැරෙන රාජකාරි වනු ඇතැයි ඇමෙරිකන් පුවත් සේවා පෙන්වා දෙයි.
රිපබ්ලිකන් පාක්ෂිකයන්ගේ පමණක් නොව, ප්‍රතිවාදී ඩිමොක්‍රටික් පාක්ෂිකයන්ගේ ද පැසැසුමට ලක් වී සිටින හෙයින් රොබට් ඕ බ්‍රයන් ට ජාතික ආරක්ෂක උපදේශක ධුරය හිමිවනු ඇති බව ඇමෙරිකන් දේශපාලන විශ්ලේෂකයෝ පෙන්වා දෙති.

ඒ අනුව, රොබට් ඕ බ්‍රයන් ඇමෙරිකා ජනාධිපති ඩොනල්ඞ් ට්‍රම්ප් පරිපාලනයේ සිවුවැනි ජාතික ආරක්ෂක උපදේශකවරයා වනු ඇත. මීට පෙර, ජෝන් බෝල්ටන්, එච්.ආර්. මැකැස්ටර් සහ මයිකල් ෆින් ඇමෙරිකා ජාතික ආරක්ෂක උපදේශක ධුරය හොබවා ඇත.

වොෂින්ටනයේදීය (ඒ.එෆ්.පී.)


RECOMMEND POSTS