ආසාදිතයන් ගණන එක්ලක්ෂ විසිදහස ඉක්මවයි



ඇමෙරිකා එක්සත් ජනපදයේ කොරෝනා ආසාදිතයන්ගේ ගණන එක් ලක්ෂ විසිදහස ඉක්මවා ගොස් ඇත.

කොරෝනා ආසාදිතයන්ගෙන් ඇමෙරිකා එක්සත් ජනපදයේ රෝහල් පිරී ගොස් ඇති අතර වෛද්‍ය සැපයුම්වල දැඩි හිඟයක් ද උද්ගතව තිබේ.

ජෝන්ස් හොප්කින්ස් විශ්වවිද්‍යාලයේ නවතම දත්තවලට අනුව ඇමෙරිකා එක්සත් ජනපදයෙන් වාර්තා වන සමස්ත කොරෝනා ආසාදිතයන්ගේ ගණන අද (29) පස්වරු 5 වනවිට 124,686ක් ලෙස දැක්විණි. එරටින් වාර්තා වන මරණ ගණන 2,191ක් වූ අතර කොරෝනා වයිරසය ආසාදනය වී සුව වූ ගණන 2,612ක් විය.

කොරෝනා වයිරසය හේතුවෙන් වැඩිම බලපෑමක් සිදුව ඇත්තේ ඇමෙරිකා එක්සත් ජනපදයේ නිව්යෝක් සහ වොෂින්ටන් යන ප්‍රාන්තවලටය.

කොරෝනා ආසාදිත රෝගීන්ට හුස්ම ගැනීම පහසු කරන ස්වසන සංවාතන යන්ත්‍රවල (වෙන්ටිලේර්ස්) මෙන්ම පරීක්ෂණ කට්ටලවල දැඩි හිඟයක් පවතින බව ඇමෙරිකානු වෛද්‍යවරු පවසති.

ඊට අමතරව ඖෂධ , වෛද්‍ය සැපයුම් මෙන්ම පුහුණු කාර්යමණ්ඩලවල හිඟයක් පවතින බවද ඔවුහු පෙන්වාදෙති.

මේ වනවිට වැඩිම කොරෝනා ආසාදිතයන් ගණනක් වාර්තා වන රට බවට පත්ව ඇත්තේ ඇමෙරිකා එක්සත් ජනපදය යි.

සිකුරාදා දිනයේදී පමණක් එරටින් වාර්තා වූ මරණ ගණන 300 ඉක්මවීය. එක් දිනක් ඇතුළත ඇමෙරිකාවෙන් මරණ 300 කට වඩා වාර්තා වූ පළමු අවස්ථාව එය විය.

ජෝන්ස් හොප්කින්ස් විශ්වවිද්‍යාලයේ නවතම දත්තවලට අනුව කොරෝනා වයිරසය හේතුවෙන් සෙනසුරාදා රාත්‍රියෙන් අවසන් වූ පැය 24ක කාලයේදී ඇමෙරිකා එක්සත් ජනපදයෙන් වාර්තා වූ මරණ ගණන 410ක් ලෙස සටහන් විය. එම පැය 24ක කාලයේදී කොරෝනා වයිරසය හේතුවෙන් ඇමෙරිකාවෙන් කොරෝනා ආසාදිතයන් 18,848 දෙනකු සොයාගෙන ඇති බව ද වාර්තා විය.

ඇමෙරිකා එක්සත් ජනපදය මේ වනවිට ගෝලීය වසංගතයක් බවට පත්ව තිබෙන නව කොරෝනා වයිරසය ව්‍යාප්ත වීමේ නව කේන්ද්‍රස්ථානය බවට ද පත්ව ඇත .

නව කොරෝනා වයිරසයෙන් වැඩිම බලපෑමක් වී ඇත්තේ ඉතාලියටය. අද පස්වරු 5 වනවිට ඉතාලියෙන් වාර්තා වූ සමස්ත ආසාදිතයන්ගේ ගණන 92, 472ක් විය. එරටින් වාර්තා වූ මරණ ගණන 10,023ක් විය. චීනයෙන් ආසාදිතයන් 82,120 දෙනකු වාර්තා වන අතර වාර්තා වූ මරණ ගණන 3,304ක් විය. ස්පාඤ්ඤයෙන් වාර්තා වූ සමස්ත ආසාදිතයන්ගේ ගණන 78,797ක් වූ අතර එරටින් වාර්තා වූ මරණ ගණන 6,528ක් විය.


RECOMMEND POSTS