ආයේ එහෙම ජනපතිවරණට මැදිහත් වෙන්න එපා



ජපානයේ ඔසාකා නුවර ‘ජී20’ සමුළුවට සහභාගී වන ඇමෙරිකා ජනාධිපති ඩොනල්ඞ් ට්‍රම්ප් සහ රුසියානු ජනාධිපති ව්ලැදිමීර් පුටින් අතර හමුවක්, සමුළුවට සමගාමීව පැවැත්විණි.

සුහඳත්වය වර්ධනය කර ගනිමින්, බොහොම මිත්‍රශීලීව එම හමුව පැවැත්වුණු අතර, හමුව අවසන් වෙද්දී ට්‍රම්ප් රුසියන් ජනපතිවරයාට විහිළුවක් ද කළේය. ‘කරුණාකරලා, ඔන්න ආයේ එහෙම ජනපතිවරණ කටයුතුවලට මැදිහත් වෙන්න එපා’ යැයි ට්‍රම්ප්, පුටින්ට පැවැසීය.

2016 වසරේ ට්‍රම්ප් ජනාධිපති ධුරයට පත්වුණු ඇමෙරිකන් ජනාධිපතිවරණයට රුසියාවේ පරිගණක හැකර්වරුන්ගෙන් මැදිහත්වීමක් සිද්ධ වුණු බවටත්, එය සිදුවූයේ ජනපති පුටින්ගේ මෙහෙයවීම අනුව බවටත් චෝදනා එල්ල විය.

මෙම චෝදනා එල්ල කළේ ඇමෙරිකන් ආරක්ෂක සහ බුද්ධි අංශය. කෙසේ නමුත් කොංග්‍රස් මණ්ඩලය (ඇමෙරිකන් පාර්ලිමේන්තුව) මැදිහත් වී, නීතිවේදී රොබට් මියුලර් සහ විමර්ශන කණ්ඩායමක් යොදවා ඒ ගැන පරීක්ෂණයක් පැවැත්වීය.

පසුගිය වසර කීපයේ ට්‍රම්ප් සහ පුටින් රාජ්‍ය නායක සමුළුවලදී එකිනෙකා හමුවූහ. පසුගිය වසරේ ‘ජී20’ සමුළුව ආජන්ටිනාවේ පැවැත්වුණු අවස්ථාවේදී ද දෙදෙනා හමුවූ     නමුත් එල්ලවූ චෝදනා හේතුවෙන් සබඳතා ශක්තිමත් කර ගැනීමට හැකියාවක් ලැබුණේ නැත.

මේ වනවිට රොබට් මියුලර්ගේ විමර්ශන වාර්තා එළිදක්වා තිබේ. ට්‍රම්ප් රුසියාව සමඟ රහස් ගනුදෙනුවක් කළ බවක් හෝ රුසියන් හැකර්වරුන් ජනපතිවරණයේ ප්‍රතිඵල වෙනස් කළ බවක් හෝ සම්බන්ධයෙන් සාක්ෂි නැති බව එම වාර්තාවේ සඳහන් වෙයි.

අද (28) පුටින් සහ ට්‍රම්ප් දෙදෙනා ඔසාකා නුවරදී හමුවූයේ එම වාර්තාවෙන් ට්‍රම්ප් නිර්දෝශීභාවය තහවුරු වී ඇති අවස්ථාවකය. පුටින් හමුවී සුහඳත්වයක් ගොඩනගා ගැනීමට හැකිවුණු බව හමුව අවසානයේ දී ට්‍රම්ප් මාධ්‍ය හමුවේ පැහැදිලි කළේය.

(ඬේලිමේල්)


RECOMMEND POSTS