අහිමි වෙමින් යන වීසා බලපත්‍රය ඉල්ලා මෝදි අමෙරිකාවට !



ඉන්දීය අගමැති නරේන්ද්‍ර මෝදි හා අමෙරිකානු ජනපති ඩොනල්ඩ් ට්‍රම්ප් අතර හමුවක් ලබන 26 වන දින පැවැත්වීමට නියමිත බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ, මෙම හමුව H1B වීසා බලපත්‍ර නීති රීතිවල ඇති විය හැකි වෙනස්කම් පිළිබඳව ඉන්දියාව දක්වන සැලකිල්ල, ත්‍රස්තවාදය ඇතුළු ගැටලු ගණනාවක් පිළිබඳව මෙම හමුවේදී අවධානයට යොමු වන බව ය.

නවදිල්ලි විදේශ කටයුතු අමාත්‍යංශය සඳහන් කළේ, දෙපාර්ශවය අතර සිදුවන මෙම හමුව අන්‍යෝන්‍ය වශයෙන් වැදගත් වන ගැටලු සහ බහුවිධ උපායමාර්ගික සහයෝගීතාව ශක්තිමත් කිරීම සඳහා නව මගක් ලබා දෙනු ඇති බව ය.

ධවල මන්දිර මාධ්‍ය ලේකම් ෂෝන් ස්පයිසර් පවසා ඇත්තේ, ඉන්දීය අග්‍රාමාත්‍යවරයා සහ අමෙරිකානු ජනාධිපතිවරයා අතර පැවැත්වෙන ද්විපාර්ශවික සාකච්ඡාවලදී පොදු ප්‍රමුඛතා ඉදිරියට ගෙන යාම සඳහා ද්විපාර්ශ්වික සබඳතා ශක්තිමත් කිරීම, ත්‍රස්තවාදයට එරෙහිව සටන් කිරීම, ආර්ථික වර්ධනය සහ ප්‍රතිසංස්කරණය ප්‍රවර්ධනය කිරීම, ඉන්දු – පැසිෆික් කලාපයේ ආරක්ෂක සහයෝගීතාව පුළුල් කිරීම යන කරුණු පිළිබඳව මෙහිදී අවධානයට යොමු කෙරෙන බව ය.

මේ අතර H1B වීසා කාණ්ඩය යටතේ අමෙරිකාවේ රැකියා කිරීමට වීසා බලපත්‍රය හිමිවන තොරතුරු තාක්ෂණ වෘත්තිකයින්ට එම වීසා බලපත්‍රය ලබා දීම අවම කිරීමට අමෙරිකාව පියවර ගැනීම හේතුවෙන් ගැටලු පැන නැගී ඇති බව පසුගිය සතියේ ප්‍රවෘත්ති සාකච්ඡාවක් කැඳවමින් ඉන්දීය විදේශ ඇමතිනී සුෂ්මා ස්වරාජ් පැවසුවා ය.

කෙසේ වෙතත් අමෙරිකානු නව රජය පත් වීමෙන් අනතුරුව දෙරට අතර සිදුවන පළමු ද්විපාර්ශවික හමුව මෙය වේ.
 

( තිළිණි ද සිල්වා )
හින්දුස්තාන් ටයිම්ස් ඇසුරෙනි..

 


RECOMMEND POSTS