අවසන් සජීවී විවාදයත් අවසන්



එලැඹෙන නොවැම්බර් තුන්වැනිදා පැවැත්වීමට නියමිත ඇමෙරිකන් ජනාධිපතිවරණය නිමිත්තෙන් ඊට ඉදිරිපත් වන, රිපබ්ලිකන් පාක්ෂික වත්මන් ජනාධිපති ඩොනල්ඩ් සහ ප්‍රතිවාදී ඩිමොක්‍රටික් පාක්ෂික ජෝ බයිඩන් අතර අවසන් සජීවී රූපවාහිනී විවාදය  පැවැත්විණි.
 

විවාදය පැවැත්වූයේ ටෙනිසි ජනපදයේ නෑෂ්විල් නුවරදීය. කොවිඩ් 19 හෙවත් නව කොරෝනා වයිරස වසංගතය හේතුවෙන් සෞඛ්‍ය උපදෙස් සැලකිල්ලට ගනිමින්, සෞඛ්‍ය නිර්දේශවලට අනුව, විවාදය පැවැත්වීමට ඇමෙරිකානු ජනපති විවාද කොමිසම පියවර ගත්තේය. රූපවාහිනිය ඔස්සේ විවාදය සජීවීව නැරැඹූ ඇමෙරිකානුවන් ගණන මිලියන 45 ක් යැයි ද පැවැසෙයි.

මීට පෙර සජීවීව පැවැත්වුණු පළමු විවාදයේදී බයිඩන් කතා කරද්දී, ට්‍රම්ප් ඔහුට බාධා කළ අතර, ට්‍රම්ප් කතා කරද්දී බයිඩන් බාධා කළේය. ඒ අනුව, විවාසය එකම ගාලගෝට්ටියක් විය. මෙම දෙවැනි විවාදයේදී, එක් අපේක්ෂකයකු අදහස් පළ කරද්දී, අනෙක් අපේක්ෂකයාගේ මයික්‍රෆෝනය අක්‍රිය කර තැබුණි.

සිය දෙවැනි සහ අවසන් ධුර කාලය වෙනුවෙන් ජනපතිවරණයට ඉදිරිපත් වන 74 හැවිරිදි ට්‍රම්ප්ගේ ජය සහ පැරදුම තීරණය කරන ප්‍රධාන සාධකය වනු ඇත්තේ කොවිඩ් 19 හෙවත් නව කොරෝනා වයිරසයයි. චීනයෙන් ඇරැඹුණු කොරෝනා වයිරසයේ නවතම කේන්ද්‍රස්ථාවය වී ඇත්තේ ඇමෙරිකාවය. අද වනවිට ලොව වැඩිම කොරෝනා ආසාදිතයන් සහ මරණ වාර්තා වන්නේ ඇමෙරිකාවෙනි. ඇමෙරිකාවේ කොරෝනා මරණ 2,22,000 පසු කර තිබේ.

කොරෝනා වයිරසය නිසි ලෙස පාලනය කර ගැනීමට ජනපති ට්‍රම්ප්ට නොහැකි වූ බවත්, ට්‍රම්ප් පරිපාලනය ඉතා දුර්වල බවත් ප්‍රතිවාදී ඩිමොක්‍රටික් පක්ෂයෙන් චෝදනා එල්ල වෙමින් පවතී. ජනමත සමීක්ෂණ අනුව, ඇමෙරිකානුවන් සියයට 80 කට වැඩි පිරිසක් විශ්වාස කරන්නේ ට්‍රම්ප් පරිපාලනය නිසි ලෙස වයිරස ව්‍යාප්තිය කළමණා නොකිරීම හේතුවෙන් ඇමෙරිකාවේ වසංගත තත්ත්වයක් නිර්මාණය වූ බවය.

ඇමෙරිකානුවන් 2,22,000 ක් වයිරසයෙන් මියයෑම සම්බන්ධයෙන් ට්‍රම්ප් වගකිව යුතු බවත්, වයිරසයට ඇමෙරිකානුවන් බිලි දුන් ට්‍රම්ප් වැන්නකු ඇමෙරිකාවේ ජනපති ධුරයට සුදුසු නැති බවත් සජීවී විවාදයේ දී ජෝ බයිඩන් පෙන්වා දුන්නේය. 77 හැවිරිදි බයිඩන්, ඔබාමා පරිපාලන සමයේ ඇමෙරිකන් උප ජනපති ලෙස කටයුතු කර තිබේ.

කොවිඩ් 19 වයිරසය සම්බන්ධයෙන්, ඇමෙරිකන් ජනපති ට්‍රම්ප් අවධාරණය කළේ ඉදිරි සති කීපයේ දී ඇමෙරිකානුවන්ට නොමිලේ එන්නතක් ලැබනු ඇති බවය. කෙසේ නමුත් ඇමෙරිකන් සෞඛ්‍ය බලධාරීන් අවධාරණය කර ඇත්තේ කොරෝනා මර්දන එන්නතක් නිපදවා, එහි ආරක්ෂාව තහවුරු කිරීමෙන් පසු, එය ජනතාවට එළිදැක්වීම සිදුවනු ඇත්තේ 2021 දී බවය.

වයිරසය සමඟ වසර කීපයක් ජීවත් වීමට සිදුවනු ඇති බවත්, වයිරසයට බයේ නිවෙස් ඇතුළේ සැඟවී ජීවත් වීම සුදුසු නැති බවත් විවාදය අතරතුරේ ට්‍රම්ප් පැවැසුවේය.

බයිඩන් පවසා ඇත්තේ තමන් ජනපති වුවහොත්, ඇමෙරිකාව ලොක්ඩවුන් කර හෝ වයිරස ව්‍යාප්තිය පාලනය කරන බවය. තමන් ජනාධිපති වුවහොත් සියල්ලන්ම අනිවාර්යයෙන් මුහුණු ආවරණ පැලඳිය යුතු බව ද බයිඩන් අවධාරණය කර තිබේ.

ජනපති ට්‍රම්ප් ඊට විරෝධය පළ කරමින් පැවැසුවේ, වයිරසයට අනුගත වෙමින් ජීවත් විය යුතු බවත්, රටේ ආර්ථිකය අඩපණ කරමින් රට ලොක්ඩවුන් නොකළ යුතු බවත්ය. මුහුණු ආවරණ පලඳින්නැයි තමන් කිසිදු අවස්ථාවක බල නොකරන බව ද ට්‍රම්ප් විවාදයේ දී අවධාරණය කළේය‍

මේ අතර රුසියාව සහ ඉරානය සතුව ඇමෙරිකන් ඡන්ද දායකයන්ගේ විස්තර ඇති බවත්, 2016 වසරේ පැවැත්වූ ජනාධිපතිවරණයේදී සිදුවුණු ආකාරයට මෙවර ජනාධිපතිවරණයේදී ද ඊට විදෙස් පරිගණක හැකර්වරුන්ගේ බලපෑම එල්ල විය හැකි බවත් ඇමෙරිකන් ආරක්ෂක අංශ අනතුරු අගවා තිබේ. මේ සම්බන්ධයෙන් විවාදයේ දී අදහස් දැක්වූ බයිඩන් කියා සිටියේ, ඇමෙරිකන් ජනාධිපතිවරණයට ඇඟිලි ගසන ඕනෑම විදේශීය රටකට එරෙහිව දැඩි පියවර ගන්නා බවය.

නෑෂ්විල්හිදීය (ඒ.එෆ්.පී.)‍


RECOMMEND POSTS