අර්ධ චන්ද්‍ර ග්‍රහණයක් අද



අර්ධ චන්ද්‍රග්‍රහණයක් දැකබලා ගැනීමේ අවස්ථාව ඇසළ පුර පසළොස්වක පොහොය යෙදෙන අද රාත්‍රියේ (හෙට 17 අලුයම කාලයේදී) ශ්‍රී ලංකාව ඇතුළු ලොව රටවල් රැසක  වැසියන්ට උදා වේ.

මෙම අර්ධ චන්ද්‍රග්‍රහණය ශ්‍රී ලංකාවට මෙන්ම ඕස්ට්‍රේලියාව, අප්‍රිකාව, දකුණු ඇමෙරිකාවටත්, යුරෝපයේ සහ ආසියාවේ බොහෝ රටවලටත් දිස්වන බව කොළඹ විශ්වවිද්‍යාලයේ තාරකා විද්‍යා හා අභ්‍යවකාශ විද්‍යා ඒකකයේ අධ්‍යක්ෂ මහාචාර්ය චන්දන ජයරත්න මහතා පැවසීය.

එය මේ වසරේ අවසාන චන්ද්‍රග්‍රහණය වන අතර මේ ආකාරයෙන් පියවි ඇසට පෙනෙන චන්ද්‍රග්‍රහණයක් දැකගැනීමේ අවස්ථාව යළිත් ශ්‍රී ලාංකිකයන්ට උදාවන්නේ 2021 මැයි 26 වැනිදා බවද මහාචාර්යවරයා සඳහන් කළේය.

මෙම චන්ද්‍රග්‍රහණය ආරම්භ වන්නේ මධ්‍යම රාත්‍රිය ගෙවී එනම් හෙට (17) අලුයම 12.13 ට වන අතර එය චන්ද්‍රයා පෘථිවියේ උපචයාවට (අඩ අඳුරු සෙවනැල්ලට) ඇතුළුවීමත් සමඟ ආරම්භ වන බවද හෙතෙම කීවේය.

පෘථිවියේ උපචයාවෙන් (අඩ අඳුරු සෙවනැල්ල) චන්ද්‍රයා ඉවත්වීමත් සමග හෙට (17) අලුයම 5.47ට ග්‍රහණය අවසන් වන බවද මහාචාර්ය චන්දන ජයරත්න මහතා සඳහන් කළේ ය.

අර්ධ චන්ද්‍රග්‍රහණයේ පියවි ඇසට දක්වට ලැබෙන්නේ හෙට (17) අළුයම 1.31 සිට අලුයම 4.29 දක්වා වන අතර උපරිම ග්‍රහණ අවස්ථාව අළුයම 3.00 ට දැකගත හැකි වේ.

එම අවස්ථාවේ සඳ මතුපිටින් සියයට 65 ක් පමණ පුර්ණ ඡායාවෙන් ආවරණය වී ග්‍රහණය හොදින් දැකිය හැකි බව ද මහාචාර්ය චන්දන ජයරත්න මහතා පැවසීය.

මේ දිනවල අහසේ ඉතා දීප්තිමත්ව බැබළෙන යෝධ ග්‍රහලෝක දෙකක් වන බ්‍රහස්පති සහ  සෙනසුරු ග්‍රහනයන්ද මෙම අවස්ථාවේදී චන්ද්‍රයාට ඉතාම ආසන්නව පිහිටන බවත්, එබැවින් මෙදින දුර්ලභ ආකාශ වස්තු සංදර්ශනයක් ද දැකගත හැකි බවත් මහාචාර්යවරයා ප්‍රකාශ කළේය.

එදින සෙනසුරු සඳට ඉතා ආසන්නවත්, බ්‍රහස්පති වඩාත්ම දීප්තිමත් වූ ඉන් තරමක් ඔබ්බෙනුත් දැක ගත හැකි බවද හෙතෙම කීවේය.

(ඩයනා උදයංගනී)  


RECOMMEND POSTS