අබු සාද් ඉරාබී මරා දැමේ



ඇෆ්ගනිස්තානයේ ප‍්‍රචණ්ඩ කි‍්‍රයා සිදුකරන අයි.එස්. හෙවත් ඉස්ලාමික් ස්ටේට් ත‍්‍රස්ත සංවිධානයේ නායක අබු සාද් ඉරාබී මරා දැමීමට තමන්ට හැකිවුණැයි ඇෆ්ගන් හමුදාව කියයි.

අබු සාද් ඉරාබී ඇතුළු ඇෆ්ගනිස්තානයේ අයි.එස්. ත‍්‍රස්ත සංවිධානයේ ජ්‍යෙෂ්ඨයන් 10 දෙනකු ද මරා දැමීමට තමන්ට හැකි වූයේ විදෙස් හමුදා සමඟ එක්ව සිදු කළ මෙහෙයුමකදී යැයි ඇෆ්ගන් හමුදාව වැඩි දුරටත් කියා සිටී.

එම ඒකාබද්ධ මෙහෙයුම සිදු කළේ යැයි පැවැසෙන්නේ ඇෆ්ගනිස්තානයේ නන්ගහාර් පළාතේය. ඇෆ්ගන් සහ විදෙස් හමුදාවෝ ත‍්‍රස්තවාදීන්ගේ තිප්පොල දෙකකට පහර දුන්හ. එහිදී ත‍්‍රස්තවාදීන්ගේ ආයුද ගබඩාවක් පුපුරුවා විනාශ කිරීමට ද හමුදාවට හැකියාව ලැබුණැයි ද වාර්තා වේ.

අයි.එස්. හෙවත් ඉස්ලාමික් ස්ටේට යනු ඉරාක ත‍්‍රස්ත කල්ලියකි. මොවුන් ප‍්‍රබල ත‍්‍රස්ත සංවිධානයක් බවට පත් වූයේ අල් කයිඩාවෙන් වෙන්වීමෙන් පසුවය. ඉරාකයෙන් සහ සිරියාවෙන් ලැබූ පරාජය හමුවේ, අයි.එස්. ත‍්‍රස්තවාදීන් කණ්ඩායම් කිහිපයක් ඇෆ්ගනිස්තානයට පැමිණියහ.

ඇෆ්ගනිස්තානයේ කි‍්‍රයාත්මක වන තලේබාන් සංවිධානය ද දෙකඩ වී ඇති අතර, එක් පාර්ශ්වයක් අයි.එස්. ත‍්‍රස්තයන් සමඟ එක් වී ප‍්‍රචණ්ඩ කි‍්‍රයා සිදුකරයි. ඇෆ්ගන් රජය තලේබාන් සංවිධානය සමඟ සාම සාකච්ඡුා පැවැත්වීමට උත්සාහ ගනී. අයි.එස්. සංවිධානයේ සාමාජිකයෝ ඊට බාධා කරති.

නන්ගහාර් ආණ්ඩුකාරවරයා පවසා ඇත්තේ 2017 වසරෙන් පසු ඇෆ්ගන් ආරක්ෂක අංශ විසින් මරා දැමුණු සිවුවැනි අයි.එස්. නායකයා අබු සාද් ඉරාබී කියාය.


RECOMMEND POSTS