අපරාධ අධිකරණයෙන් ඉවත් වෙනවා



අන්තර් ජාතික අපරාධ අධිකරණයෙන් පිලිපීනය ඉවත් කර ගන්නවා යැයි එරට ජනාධිපති රොඞ්රිගෝ ඩුටරේට්ස් කියයි.

පිලිපීනයේ මත් උවදුර මැඬලීමේ අරමුණ ඇතිව, ජනාධිපති ඩුටරේට්ස් දළදඬු ක්‍රියා පිළිවෙතක් අනුගමනය කරයි. ජනපතිවරයා මත්ද්‍රව්‍යවලට එරෙහිව හමුදාව යොදවා මෙහෙයුම් සිදු කරයි.

මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන් පමණක් නොව, මත්ද්‍රව්‍ය භාවිතා කරන්නන් පවා දුටු තැන වෙඩි තබා මරන්නැයි ජනාධිපති ඩුටරේට්ස් හමුදාවට අණ දී ඇත.

මේ හේතුවෙන් මානව හිමිකම් කඩවීම් සිදුවන බවටත්, මනුෂ්‍ය වර්ගයාට එරෙහිව අපරාධ සිදු කරන බවටත් ඩුටරේට්ස්ට චෝදනා එල්ල වී ඇත.

අන්තර් ජාතික අපරාධ අධිකරණය පිලිපීනය සම්බන්ධයෙන් පරීක්ෂණයක් පැවැත්වීමට ද සූදානම් වෙයි. අන්තර් ජාතික අපරාධ අධිකරණයෙන් පිලිපීනය ඉවත් කර ගන්නවා ජනපතිවරයා පවසා ඇත්තේ ඒ නිසාය.

‘අන්තර් ජාතික අපරාධ අධිකරණය පදනම් විරහිතව චෝදනා කරනවා. ඔවුන් පිලිපීන වැසියන් ගැන කනස්සල්ල පළ කරනවා යැයි කියන්නේ අවංක චේතනාවෙන් නොවෙයි.’ යැයි ජනපති ඩුටරේට්ස් කියා සිටී.

අන්තර් ජාතික අපරාධ අධිකරණය පිලිපීනය සම්බන්ධයෙන් විමර්ශන ආරම්භ කළේ පසුගිය පෙබරවාරියේ සිටය.

එම අවස්ථාවේදී අන්තර් ජාතික අපරාධ අධිකරණ ප්‍රධානී විනිසුරු ෆටෝ බෙන්සුඩා කියා සිටියේ, රටේ නීති පද්ධිතියට පිටින් ඝාතන සිදුවී ඇති බවත්, ඒවා ගැන පරීක්ෂණ පැවැත්විය යුතු බවත්ය.
 
(රොයිටර්)


RECOMMEND POSTS