අගමැති මන්දිරය එපා කියයි



පාකිස්තාන අගමැති මන්දිරය ප්‍රතික්ෂේප කළ නව අගමැති ඉම්රාන් ඛාන් එරට හමුදා ලේකම්වරයාගේ කාමර තුනක් සහිත නිවස අගමැති නිල නිවස ලෙස තෝරා ගෙන ඇත.

අනවශ්‍ය වියදම් කපා හරින බවටත්, තමන් පාකිස්තාන අගමැති නිල නිවසේ පදිංචිය සඳහා පැමිණෙන්නේ නැති බවටත් ඉම්රාන් පොරොන්දුවක් ලබා දුන්නේ පසුගිය ජූලි 25 වැනිදා මැතිවරණයෙන් ජයග්‍රහණය කළ අවස්ථාවේදීය.

මාලිගාවක් බඳු සුඛෝපබෝගී අගමැති මන්දිරය විශ්ව විද්‍යාලයක් හෝ සංචාරක නිකේතනයක් බවට පත් කිරීමේ අදහසක් ඇති බව ද ඉම්රාන් පවසා තිබේ. ඉස්ලාමාබාද්හි පිහිටි අගමැති මන්දිරයේ සේවක සේවිකාවන් ගණන 524 කි. ඊට සම්බන්ධ මෝටර් රථ ගණන 80 කි.

ඉම්රාන් අගමැති ධුරයේ දිවුරුම් දුන්නේ පසුගිය 18 වැනිදාය. එම අවස්ථාවේ ඔහු තීරණය කළේ බනිගාලා ප්‍රදේශයේ ඇති ඔහුගේ නිවස අගමැති නිල නිවස ලෙස තෝරා ගන්නා බවටය.

කෙසේ නමුත් පාකිස්තාන ආරක්ෂක අංශ ඊට විරෝධය දැක්වීය. ඒ, එම නිවසට ආරක්ෂාව සැපැයීම ගැටලුවක් වුණු බැවිනි. ඒ අනුව, හමුදා ලේකම්වරයාගේ නිවස ඒ සඳහා තෝරා ගැනීම කර ඇත.

‘පාකිස්තාන අගමැති, ඒ කියන්නේ මට වෙඩි නොවදින මෝටර් රථ 33 ක් තියෙනවා. හෙලිකොප්ටර් තියෙනවා. ගුවන් යානා තියෙනවා. අපේ ආණ්ඩුකාරවරුන්ටත් සුඛෝපබෝගී මන්දිර තිබෙනවා. ජනතාව වෙනුවෙන් වියදම් කරන්න අපට මුදල් නැහැ. එසේ තිබියදී අප යටත් විජිත සමයේ වගේ සැපට ඉන්නේ කොහොමද ? ඒක කරන්න බැහැ. අපි ජනතා සේවකයෝ ජනතාව අමාරුවේ දාලා අප සුඛෝපබෝගී ජීවිත ගත කිරීම ලොකු වරදක්’ යැයි මාධ්‍ය හමුවේ තමා ගත් තීරණය පැහැදිලි කරමින් ඉම්රාන් කියා සිටියේය.

(එන්.ඩී.ටීවී.)


RECOMMEND POSTS