හිටපු ජනපති අලී සර්දාරී අත්අඩංගුවට



මුදල් විශුද්ධිකරණ චෝදනා සම්බන්ධයෙන් පාකිස්තානයේ හිටපු ජනාධිපති අසීෆ් අලී සර්දාරී අත්අඩංගුවට ගෙන ඇතැයි පාකිස්තාන පුවත් සේවා වාර්තා කළේය.

හිටපු ජනාධිපති සර්දාරි කළ ඇප ඉල්ලීම ද අධිකරණය ප්‍රතික්ෂේප කළ බව ද වාර්තා වේ. සර්දාරි, මරාගෙන මැරෙන බෝම්බකරුවකු අතින් ඝාතනය වූ පාකිස්තාන අගමැතිනියක වන බෙනාසීර් බූතෝගේ සැමියාය. සර්දාරි පාකිස්තානයේ ජනාධිපති ධුරය හෙබවූයේ 2008 සිට 2013 තෙක් කාලයේය.

සර්දාරිට එරෙහිව අල්ලස් දූෂණ චෝදනා ද එල්ල වී සිටී. පාකිස්තාන ජනතාව සහ මාධ්‍ය සර්දාරි හඳුන්වා දෙන්නේ ‘සියයට 10 මහත්මයා’ කියාය. ඒ, සෑම ව්‍යාපෘතියකින්ම සියයට 10 ක අල්ලසක් ඔහු ලබා ගන්නා නිසා යැයි ද පැවැසෙයි. සර්දාරි නියෝජනය කරන්නේ පාකිස්තාන ජනතා පක්ෂයයි.

පොලිස් නිලධාරීන් පැමිණ සර්දාරි අත්අඩංගුවට ගත් අවස්ථාවේදී පාකිස්තාන ජනතා පක්ෂයේ ක්‍රියාකාරීන් සහ පොලිසිය අතර බහින්බස් වීමක් ද සිදුවුණු බව වාර්තා වේ.

ඉස්ලාමාබාද්හිදීය (රොයිටර්ස්)


RECOMMEND POSTS

RELATED POSTS