සියයට 90 ක් ආඝ්‍රාණය කරන්නේ විස



ලෝකවාසීන්ගෙන් සියයට 90 ක්, ආඝ්‍රාණය කරන්නේ අපිරිසුදු විස වාතය බව ලෝක සෞඛ්‍ය සංවිධානය නිකුත් කළ නවතම වාර්තාවක දැක්වෙයි.

මෙම නව වාර්තාව නිකුත් කරනු ලැබ ඇත්තේ ලෝක සෞඛ්‍ය සංවිධානයේ ‘මහජන සෞඛ්‍ය සහ පාරිසරික කටයුතු සම්බන්ධ ඒකකය’ විසිනි.

ලෝක සෞඛ්‍ය සංවිධානය මෙම අනතුරු ඇඟවීම කළේ ඉන්දියාවේ නවදිල්ලි අගනුවර දින ගණනක් තිස්සේ විස දුමාරයකින් වැසී යෑමත් සමඟය. අපිරිසුදු වාතය සහිත ලොව අංක එකේ නගරය බවට මේ වනවිට පත් වී ඇත්තේ නවදිල්ලියයි. වාතය දූෂණය වී ඇති අගය 529 කි.

ලෝක සෞඛ්‍ය සංවිධානය නිකුත් කළ සමීක්ෂණ වාර්තා අනුව, දෙවැනි ස්ථානයේ ඇත්තේ පාකිස්තානයේ ලාහෝරයයි. ලාහෝරයේ වාතය අපිරිසුදු වී ඇති අගය 300 කි. ලැයිස්තුවේ තෙවැනි ස්ථානයේ ඇත්තේ 179 ක අගයක් සටහන් කළ ඉන්දියාවේ කෝල්කටා නුවරය.

පසුගිය වසරේ ලොව වායු දූෂණය වැඩිම නගරය ලෙස වාර්තා අතරට පවා එක් වුණු චීනයේ බීජීං නුවර මෙම ලැයිස්තුවට ඇතුළත් නොවෙයි. ඊට හේතුව, වායු දූෂණය අවම කිරීමට බීජීන් බලධාරීන් සහ චීන රජය ගත් දැඩි පියවර මුල්කොට ගනිමිනි. බීජීං අගනුවර ලැයිස්තුවට ඇතුළත් නොවුණ ද චීනයේ හැංග්ෂෝ නගරය ලැයිස්තුවේ 7 වැනි ස්ථානයට පත් වී ඇත.

බීජීං නුවර වායු දූෂණය ඉහවහා ගියේ කාර්මික දියුණුවත් සමඟය. බීජිං නුවර වායු දූෂණය ඉහළ යෑමත්, හුස්ම ගැනීමට නොහැකි වී චීන වැසියන් දැඩි ලෙස අපහසුවට පත් වීමත් සමඟ බෝතල් කළ පිරිසුදු වාතය කැනඩාවෙන් මිලදී ගැනීමට සිදුවිය.
වායු දූෂණය හේතුවෙන් සෑම වසරකම මිලියන  6 ක පිරිසක් මියයන බවත් ් ‘මහජන සෞඛ්‍ය සහ පාරිසරික කටයුතු සම්බන්ධ ඒකකය’ මාධ්‍ය හමුවේදී පෙන්වා දුන්නේය. වායු දූෂණය හේතුවෙන් සෑම වසරකම නොමේරූ දරුවන් 9,500 ක් මියයන බව ද ‘මහජන සෞඛ්‍ය සහ පාරිසරික කටයුතු සම්බන්ධ ඒකකය’ නිකුත් කළ වාර්තාවේ සඳහන් වෙයි.

වායු දූෂණයට ප්‍රධානතම හේතුව කාර්මීකරණය සහ ඉන්ධන දහනයයි. වායු දූෂණයට බලපාන ප්‍රධාන සාධකය ලෙස සැලකෙන්නේ ඉතා සියුම් විස අංශු කොටස්ය. මේ සියුම් අංශු කොටස් සෑදී ඇත්තේ දූවිලි හා දැලි අංශු ආදියෙනි. ඒවා ප්‍රමාණයෙන් මයික්‍රොමීටර් 2.5ක් හෝ ඊටත් කුඩාය. මෙම අතිශයින් කුඩා ප්‍රමාණය නිසා විද්‍යාත්මකව ඒවා හැඳින්වෙන්නේ ‘පාටිකියුලේට් මැටර් 2.5’ හෙවත් පීඑම් 2.5 යනුවෙනි.

මේවා ඉතාමත් කුඩා නිසා පහසුවෙන් කෙනකුගේ ශ්වසන පද්ධතිය මගින් පෙනහැල්ලට ඇතුළු වී දරුණු ලෙස රෝගාබාධ ඇති කරන බව වෛද්‍යවරු පර්යේෂකයන් පැහැදිලි කර ඇත.
පීඑම් 2.5 නමැති අංශූ මෝටර් රථවල පිටාර වායුව තුළත්, වෙනත් කර්මාන්තශාලාවලින් නිකුත් වන දුම්වලත්, ගෘහස්තව හා ස්වාභාවික ක්‍රමවලින් වායු ගෝලයට එක්වන දුම්වලත් ඇති බව විද්‍යාඥයෝ වැඩි දුරටත් කියා සිටිති.

ජිනීවා නුවරදීය (ඒ.එෆ්.පී.)


RECOMMEND POSTS

RELATED POSTS