සාම කතා නැවැත්වීම ඇමෙරිකාවට අවාසියක්



සාම කතා නතර කිරීමට ඇමෙරිකා ජනාධිපති ඩොනල්ඞ් ට්‍රම්ප් ගත් තීරණය කනගාටුවට කරුණක් බවත්, සාම කතා නැවැත්වීමෙන් වැඩි අවාසියක් අත්වන්නේ ඇමෙරිකාවට බවත් තලේබාන් සංවිධානය පවසා ඇත.

පසුගිය මාස කිහිපය පුරාවට තලේබාන් සංවිධානයේ නියෝජිතයන් සහ ඇමෙරිකන් නියෝජිතයන් අතර පැවැති සාම සාකච්ඡා සාර්ථක වෙමින් පැවැතිණි. මේ බව තලේබාන් සංවිධානය ද පිළිගෙන තිබේ. ඇමෙරිකාව වෙනුවෙන් තාලේබාන් සංවිධානය සමඟ සාකච්ඡා පවත්වන්නේ ඇමෙරිකා ජනපති ට්‍රම්ප් විසින් පත් කරනු ලැබූ නියෝජිත සැල්මේ කලීසාද්ය.

සාම කතා නතර කිරීමට ජනාධිපති ට්‍රම්ප් තීරණය කළේ හදිසියේය. ඒ, පසුගිය දා කාබුල් අගනුවරට එල්ල වුණු තලේබාන් බෝම්බ ප්‍රහාරයෙන් පසුවය. එය මරාගෙන මැරෙන කාර් බෝම්බ ප්‍රහාරයක් විය. නේටෝ සොල්දාදුවන් කිහිප දෙනෙක් ද එම බෝම්බ ප්‍රහාරයෙන් ජීවිතක්ෂයට පත් වූහ.

ඒ වනවිට සාම කතා අවසන් අදියරට එළැඹී තිබුණි. තලේබාන් සංවිධානයේ නියෝජිතයන් සහ ඇෆ්ගන් ජනාධිපති අෂාරාෆ් ඝානි ඇමෙරිකාවට ගෙන්වා අවසන් සාකච්ඡා පැවැත්වීමට ජනපති ට්‍රම්ප් සූදානමින් සිටියේය.

මෙම හමුව ආරක්ෂක හේතූන් මත රහසේ පැවැත්වීමට සැලැසුම් කර තිබුණි.  හමුව පැවැත්වීමට සැලසුම් කර තිබුණේ ඇමෙරිකාවේ ඬේවිඞ් කඳවුරේදීය. ඒ, විශේෂ ආරක්ෂාවක් ද යටතේය. සාම කතා අවලංගු කළ අවස්ථාවේදී ඇෆ්ගන් ජනපති සහ තලේබාන් නියෝජිතයන් ඇමෙරිකාව බලා යෑමට සූදානමින් සිටි බව ද වාර්තා වේ.

‘සාම සාකච්ඡා ඉතා සාර්ථක වුණා. අපේ කොන්දේසිවලට ඇමෙරිකාව එකඟ වුණා. ඇමෙරිකානු සොල්දාදුවන් ඇෆ්ගනිස්තානයෙන් ගෙන්වා ගන්න ඇමෙරිකාව පොරොන්දුව වුණා. සාම කතා නැවැත්වීමෙන් වැඩි අවාසිය අත්වන්නේ ඇමෙරිකාවට’ යැයි තලේබාන් සංවිධානයේ ප්‍රකාශකයෙක් පවසා තිබේ.

ට්‍රම්ප්ගේ උපදෙස් පරිදි ඇමෙරිකන් නියෝජිත සැල්මේ කලීසාද්  ඇෆ්ගන් තලේබාන් සංවිධානය සමඟ සාකච්ඡා පවත්වන්නේ වසර 18 ක් තිස්සේ ඔඩුදුවමින් පවතින ඇෆ්ගන් අර්බුදයට විසඳුමක් සෙවීමටය. කලීසාද් සහ තලේබාන් නියෝජිතයන් අතර සාම සාකච්ඡා පැවැත්වූයේ දෝහා කාටාර් හි තලේබාන් සාම කාර්යාලය හරහාය.

එම සාම සාකච්ඡා සාර්ථක වෙද්දී, ඊට විරෝධය දක්වන තලේබාන් කණ්ඩායම් දිගින් දිගට ඇෆ්ගනිස්තානයේ බෝම්බ ප්‍රහාර එල්ල කිරීම ආරම්භ කළේය. ඇමෙරිකා විරෝධී තලේබාන් ත්‍රස්ත කල්ලි සමඟ අයි.එස්. ත්‍රස්තවාදින් ද අත්වැල් බැඳගෙන සිටින බව පැවැසෙයි. පසුගිය දා කාබුල් බෝම්බ ප්‍රහාරය එල්ල කළේ ද මෙවැනි තලේබාන් කල්ලියකි.

වොෂින්ටනයේදීය (ඒ.එෆ්.පී.)


RECOMMEND POSTS

RELATED POSTS