‘ෆයිසර්‘ එන්නත ඕස්ට්‍රේලියානුවන්ට



ඔස්ට්‍රේලියාව සිය ‘කොවිඩ්-19’ එන්නත්කරණ වැඩසටහන සැලසුම් කළ දිනයට පෙර, ඊයේ (21) ආරම්භ කළේය.

ඔස්ට්‍රේලියානු අග්‍රාමාත්‍ය ස්කොට් මොරිසන් සහ දෙවැනි ලෝක යුද්ධයෙන් දිවි බේරාගත් තැනැත්තියක වන ජේන් මැලිසියැක් එන්නත ලබාගත් පළමු ඔස්ට්‍රේලියානුවෝ බවට පත්වූහ.

ඔස්ට්‍රේලියාවේ ‘කොවිඩ්-19’ එන්නත්කරණ වැඩසටහන අද (22) ආරම්භ කිරීමට සැලසුම් කර තිබුණැයි ද පැවැසෙයි.

ඔස්ට්‍රේලියානුවන්ට ලබාදෙන්නේ ඇමෙරිකාවේ ෆයිසර් සමාගම සහ ජර්මනියේ බයෝඇන්ටෙක් සමාගම නිෂ්පාදනය කළ ‘කොවිඩ්-19’ එන්නත ය.

ජේන් මැලිසියැක්ට එන්නත ලබා දෙමින්...

ඔස්ට්‍රේලියානු අග්‍රාමාත්‍ය ස්කොට් මොරිසන් සහ ජේන් මැලිසියැක්ට අමතරව ඔස්ට්‍රේලියාවේ ප්‍රධාන වෛද්‍ය නිලධාරියා වන පෝල් කෙලී ද ‘කොවිඩ්-19’ එන්නත ලබාගත් අතර සිඩ්නි නුවර වෛද්‍ය මධ්‍යස්ථානයකදී ඔවුන්ට එන්නත ලබාදෙන ලදි.

‘‘අපි වැදගත් පියවරක් තබනවා. මම මෙලෙස ප්‍රසිද්ධියේ එන්නත ගන්නේ මෙහි වැදගත්කම ජනතාවට කියන්න. මේ එන්නත සුරක්ෂිත බව ජනතාවට කියන්න තමයි මම එන්නත ගන්නේ’’ යැයි එන්නත ලබාගැනීමට පෙර ඔස්ට්‍රේලියානු අග්‍රාමාත්‍යවරයා කීය.

ඔස්ට්‍රේලියානු අග්‍රාමාත්‍යවරයා එන්නත ලබාගන්නා අයුරු එරට රූපවාහිනි නාලිකා ඔස්සේ සජීවීව විකාශය කෙරුණි. කොවිඩ්-19 වයිරසය මර්දනය කිරීමේ සටනේ ඉදිරිපෙළ සිටින සේවකයන් සහ වඩාත් අවදානම් අයට එන්නත් ලබාදීම සිදුකරන බව ද ඔස්ට්‍රේලියානු අග්‍රාමාත්‍යවරයා කීය.

ඔස්ට්‍රේලියානු පුරවැසියන්ට එන්නත් ලබාදීම හෙට ආරම්භ කරන අතර ඔස්ට්‍රේලියාව පුරා පිහිටි එන්නත් මධ්‍යස්ථාන 16කදී එන්නත ලබාදීම සිදු කෙරේ. ඊට අමතරව ඔස්ට්‍රේලියාවේ දේශසීමා සහ ගුවන් තොටුපොළවලදී ද ඉදිරියේදී එන්නත ලබාදීම සිදු කිරීමට පියවර ගන්නා බව ද ඔස්ට්‍රේලියානු බලධාරීහු කීහ.

මාර්තු මාසය අවසන් වනවිට ඔස්ට්‍රේලියාවේ මිලියන හතරකට එන්නත ලබාදීමට සැලසුම් කර තිබූ අතර ඔස්ට්‍රේලියාවේ සමස්ත ජනගහනයට ලබන ඔක්තෝබර් අග වනවිට එන්නත ලබාදී අවසන් කිරීමට සැලසුම් කර ඇත.

ඉදිරිපෙළ සිටින සෞඛ්‍ය සේවකයන්, ආබාධිත පුද්ගලයන්, වැඩිහිටි නිවාසවල සිටින සේවකයන් ඇතුළු සුව සේවකයන්, වයස්ගත පිරිස්, නිරෝධායන මධ්‍යස්ථාන සහ දේශසීමාවල සිටින සේවකයන්ට ප්‍රමුඛතාව දෙන බව ද ඔස්ට්‍රේලියානු බලධාරීහු පැවැසූහ.

ඔස්ට්‍රේලියාවේ ජනගහනය මිලියන 25ක් වන අතර ඔස්ට්‍රේලියාව මේ වනවිට ෆයිසර්/බයෝඇන්ටෙක් එන්නත් මාත්‍රා මිලියන 10ක් ඇණවුම් කර ඇති අතර ඇස්ට්‍රාසෙනකා සමාගමෙන් එන්නත් මාත්‍රා මිලියන 53.8ක් ඇණවුම් කර ඇත.

මේ අතර ඔස්ට්‍රේලියාවේ නගර කිහිපයක එන්නත්කරණ වැඩසටහනට විරෝධය පළ කරමින් උද්ඝෝෂණ පැවැත්විණි. සිඩ්නි, ඇඩිලේඩ්, මෙල්බන් සහ පර්ත් යන නගරවල මෙලෙස විරෝධතා පැවැති අතර අනිවාර්ය එන්නත්කරණයට විරෝධය පළ කරමින් එම විරෝධතා පැවැත්විණි.

කෙසේ නමුත් එන්නත ලබාගැනීම අනිවාර්ය නැතැයි තමන් කැමැති නම් පමණක් එන්නත ලබාගත හැකි යැයි ද ඔස්ට්‍රේලියානු බලධාරීහු කීහ.

ඔස්ට්‍රේලියාවෙන් මේ වනවිට වාර්තා වී ඇති වයිරස ආසාදිතයන්ගේ ගණන 29,000කට තරමක් අඩු ය. ඉකුත් වසරේ මාර්තු මාසයේ සිට මේ දක්වා නව කොරෝනා වයිරසය ආසාදනය වීමෙන් වාර්තා වී ඇති මරණ ගණන 909කි.

ඊට අමතරව ‘කොවිඩ්-19’ කාර්යසාධක දර්ශකයේ හොඳම රටවල් දහයට ඔස්ට්‍රේලියාව ද ඇතුළත් ය.

(ඒ.එෆ්.පී.)


RECOMMEND POSTS