‘පද්මාවතී’ ප්‍රදර්ශනයට අවසර



ආන්දෝලනයට ලක්වුණු ‘පද්මාවතී’ බොලිවුඞ් චිත්‍රපටයේ නම ‘පද්මාවත්’ ලෙසත්, චිත්‍රපටයේ ජවනිකා 5 ක් වෙනස් කිරීමටත් කටයුතු කරන්නේ නම්, එය ප්‍රදර්ශනයට සුදුසු බව ඉන්දීය රැඟුම් පාලක මණ්ඩලය නිවේනදයක් නිකුත් කරමින් දන්වා ඇත.

‘පළමුවෙන් ‘පද්මාවතී’ යන නම ‘පද්මාවත්’ ලෙස වෙනස් කළ යුතුයි. චිත්‍රපටයේ කිසිදු ජවනිකාවක් කපා දමන්නැයි අප තීරණයක් ගෙන නැහැ. කෙසේ නමුත් ජවනිකා පහක් තිබෙනවා වෙනස් කළ යුතුයි. ඒවා වෙනස් ආකාරයකින් ඉදිරිපත් කිරීමට චිත්‍රපටයේ නිර්මාණකරුවන්ට සිදුවේවි. එසේ වෙනස් කරන්නැයි අප පෙන්වා දෙන ජවනිකා අතරේ එක් ගීතයක් ද තිබෙනවා’ යැයි ඉන්දීය රැඟුම් පාලක මණ්ඩලයේ සභාපති ප්‍රාසූන් ජෝෂ් මාධ්‍ය හමුවක් පවත්වමින් දැනුම් දී තිබේ.

‘පද්මාවතී’ යනු ‘පද්මාවත්’ නමැති කාව්‍ය පාදක කර ගනිමින් බොලිවුඩයේ ප්‍රවීණ අධ්‍යක්ෂකවරයකු මෙන්ම නිෂ්පාදකවරයකු ද වන සන්ජේ ලීලා බන්සාලිගේ නිර්මාණයකි. චිත්‍රපටය ගෙතෙන්නේ පද්මාවතී නමැති අතිශය සුරූපී රැජිනක වටාය.

‘පද්මාවතී’ යනු හින්දු රැජිනකි. චිත්‍රපටයට අනුව, ඇය ඇගේ රාජධානිය ආක්‍රමණයට පැමිණෙන මුස්ලිම් ආක්‍රමණිකයකු සමඟ පෙම් සබඳතාවක් ඇති කර ගනී. හින්දු ජාතිකවාදීන්ගෙන් ‘පද්මාවතී’ චිත්‍රපටයට විරෝධයක් එල්ල වූයේ ඒ අනුවය.
 ඉන්දියාවේ පාලක පක්ෂය වන භාරතීය ජනතා පක්ෂයේ, හර්යානා ප්‍රාන්තය නියෝජනය කරන හින්දු ජාතිකවාදී නායක සුරාජ් පාල් අමූ නිවේදනයක් නිකුත් කරමින් කියා සිටියේ චිත්‍රපටයේ පද්මාවතී ලෙස චරිත නිරූපණය කරන බොලිවුඞ් සුරූපිනී, දීපිකා පදුකෝන්ගේත්, චිත්‍රපටයේ අධ්‍යක්ෂ මෙන්ම එහි නිෂ්පාදකවරයා ද වන සන්ජේ ලීලා බන්සාලිගේත් හිස ගසා දමන්නේ නම්, එය කරන කෙනකුට ඉන්දීය රුපියල් කෝටි 100 ක මුදල් ත්‍යාගයක් ලබා දෙන බවය.

හින්දු ජාතිකවාදීහු ‘පද්මාවතී’ චිත්‍රපටය තහනම් කරන්නැයි බලකරමින් ශ්‍රේෂ්ඨාධිකරණයේ පිහිට පැතූහ. එම අවස්ථාවේදී ශ්‍රේෂ්ඨාධිකරණය තීන්දු කළේ චිත්‍රපටය ප්‍රදර්ශනය කළ යුතු ද නැද්ද යන්න ඉන්දීය රැඟුම් පාලක මණ්ඩලය විසින් තීරණය කරනු ඇතැයි කියාය.

(එන්.ඩී.ටීවී.)


RECOMMEND POSTS