‘කොවිඩ් 19’ මිනිසා හැදූ වයිරසයක් නොවේ



 

ලොවට වසංගතයක් වූ ‘කොවිඩ් 19’ හෙවත් නව කොරෝනා වයිරසය, රසායනාගාරයක් තුළ ජාන විකෘති කරමින් නිර්මාණය කළ වයිරසයක් නොවන බවත්, වයිරසය මනුෂ්‍යයන් අතරේ ව්‍යාප්තවීම ආරම්භ වූයේ වවුලන් හරහා බවත් ලෝක සෞඛ්‍ය සංවිධානය තහවුරු කළේය.

‘කොවිඩ් 19’ යන නමින් නම් කළ වයිරසය, ලොව පුරා ව්‍යාප්තවීම ආරම්භ වූයේ 2019 වසරේ දෙසැම්බරයේය. පළමුවෙන් වයිරස ආසාදිතයන් වාර්තා වූයේ, චීනයේ හුබෙයි පළාතේ වූහාන් නුවර සත්ව සහ මත්ස්‍ය වෙළෙඳපොළෙනි.

මෙම වෙළෙඳපොළට නුදුරින්, චීන රජයට අයත් වයිරස රසායනාගාරයක් පිහිටා තිබේ. ‘කොවිඩ් 19’ වයිරසය මෙම රසායනාගාරයේ ජාන විකෘති කරමින් කෘත්‍රිමව නිපදවන්න ඇති බවටත්, එය අත්වැරදීමකින් වූහාන් වැසියන් අතරේ පැතිර යන්න ඇති බවටත් සැක පහළ විය.

වයිරසයේ සුලමුල සෙවීමට වූහාන් බලා යැවුණු ලෝක සෞඛ්‍ය සංවිධානයේ විශේෂඥ විමර්ශන කණ්ඩායම මෙම රසායනාගාරය පරීක්ෂාවට ලක් කළ අතර, ඔවුන් ද තහවුරු කළේ වයිරස ව්‍යාප්තිය සහ රසායනාගාරය අතර සම්බන්ධයක් නොමැති බවය.

චීන සෞඛ්‍ය අංශ සහ විද්‍යාඥයන් ලබා දුන් තොරතුරු සහ දත්ත විශ්ලේෂණය කිරීමෙන් පසුව ද තමන් වූහාන් යැවූ විශේෂඥ කණ්ඩායමේ නිර්දේශ ද සැලකිල්ලට ගනිමින් අවසන් නිගමනයකට පැමිණි බවත්, ‘කොවිඩ් 19’ වයිරසය මිනිසා විසින් නිර්මාණය කරනු ලැබූවක් නොව, වවුලන් හරහා මිනිසුන්ට ව්‍යාප්ත වුණු වයිරසයක් බවත් ලෝක සෞඛ්‍ය සංවිධානය පැහැදිලි කළේය.

කොරෝනා යනු සතුන් අතරේ ව්‍යාප්තවන වයිරස විශේෂයකි. මෙම වයිරස සතුන්ගෙන් මිනිසුන්ට ව්‍යාප්ත වී පසුව, මිනිසුන් අතරේ පැතිරෙයි. ‘සර්ස්’ සහ ‘මර්ස්’ යනු මීට පෙර ලොව කැලැඹීමට සමත් කොරෝනා වයිරස පවුලේ වයිරස සාමාජිකයන්ය.

ජිනීවාහිදීය (රොයිටර්)


RECOMMEND POSTS