‘කුෂිනගර්’ නුවරට ජාත්‍යන්තර ගුවන්තොටුපොළක්



නවීකරණයට ලක් කෙරුණු ‘කුෂිනගර්’ නුවර ගුවන්තොටුපොළ ජාත්‍යන්තර ගුවන්තොටුපොළක් ලෙස නම් කිරීමට ඉන්දීය රජය පියවර ගෙන ඇත.

දඹදිව සංචාරයේ නියැලෙන බෞද්ධයන්ගේ ඉතා වැදගත් ස්ථානයක් ලෙස උත්තර ප්‍රදේශ් ප්‍රාන්තයේ කුෂිනගර් නුවර සැලකෙයි. ‘කුෂිනගර්’ යනු ගෝරාක්පූර් නගරයට කිලෝ මීටර් 52 ක් නැගෙනහිරින්, උත්තර ප්‍රදේශ් ප්‍රාන්තයේ, කුෂිනගර් දිස්ත්‍රිකත්කයේ පිහිටි කුඩා නගරයක් වන අතර, අතීතයේ මෙය හැඳින්වූයේ කුසිනාරා යනුවෙනි. ගෞතම බුදුන්ගේ පරිනිර්වාණය සිදුවූයේ කුසිනාරාවේදීය.

‘කුෂිනගර්’ ගුවන්තොටුපොළ ජාත්‍යන්තර ගුවන්තොටුපොළක් ලෙස නම් කෙරුණේ එය ජාත්‍යන්තර මට්ටමට සංවර්ධනය කර නවීකරණය ලක් කිරීමෙන් පසුවය. ගුවන්තොටුපොළ සංවර්ධනයට උත්තර ප්‍රදේශ් ප්‍රාන්ත රජයට ඉන්දීය මධ්‍යම රජයේ අනුග්‍රහය නොඅඩුව ලැබුණු බව උත්තර ප්‍රදේශ් ප්‍රාන්ත මහ ඇමැතී, යෝගීවරයකු ද වන ආධිත්‍යවාත් පෙන්වා දී තිබේ.

කුෂිනගර් ගුවන්තොටුපොළ ජාත්‍යන්තර තත්ත්වයට නවීකරණය කරනු ලැබුවේ ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදිගේ උපදෙස් අනුවය. බෞද්ධන්ගේ ජාත්‍යන්තර කේන්ද්‍රස්ථානයක් බවට කුෂිනගර් පත් කිරීම අගමැති මෝදිගේ අරමුණ වී ඇතැයි ද පැවැසෙයි.

නවීකරණයට ලක් වුණු ගුවන් තොටුපොළ කිලෝ මීටර් 3 ක් දිග ගුවන්පථයකින් සමන්විත අතර, එයාර්බස් වර්ගයේ ප්‍රමාණයෙන් විශාල ගුවන් යානාවලට එහි ගොඩබෑම කළ හැකිය. කුෂිනගර් ගුවන්තොටුපොළ විශාල කිරීම සිදු කෙරුණේ හෙක්ටයාර් 590 ක ඉඩම් රජය විසින් පවරා ගැනීමෙනි. ගුවන්තොටුපොළ සංවර්ධනය වැය වුණු මුදල ඉන්දීය රැපියල් කෝටි 199 ක් යැයි ඉන්දීය මාධ්‍ය වාර්තා පෙන්වා සෙයි.

මින් ඉදිරියට දඹදිව වන්දනාවේ යෙදෙන විදෙස් බෞද්ධ බැතිමතුන්ට සෘජුව කුෂිනගර් බලා ගුවනින් පැමිණීමට හැකිවනු ඇත. මෙතෙක් බෞද්ධ බැතිමතුන් කුෂිනගර් බලා පැමිණියේ කිලෝ මීටර් 234 ක් දුරින් පිහිටි වරණාසි ජාත්‍යන්තර ගුවන්තොටුපොළ හරහාය. සෑම වසරකම ශ්‍රී ලංකාවෙන්, මියන්මාරයෙන්, තායිලන්තයෙන්, ජපානයෙන් පමණක් නොව සෙසු රටවලින් ද බෞද්ධයෝ ලක්ෂකට වැඩි පිරිසක් දඹදිව වන්දනාවට පැමිණෙති.

කුෂිනගර් ගුවන්තොටුපොළ ජාත්‍යන්තර ගුවන්තොටුපොළක් බවට නම් කිරීමෙන් පසු බැතිමතුන්ට සෘජුව කුෂිනගර් බලා ගොස් ඉන්පසු අනෙක් ස්ථානවලට බස් රථවලින් යා හැකි බවත්, එමගින් දඹදිව වන්දනාව පහසු වනු ඇති බවත් ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි නිකුත් කළ ට්විටර් පණිවුඩයක දැක්වෙයි.

නවදිල්ලියේදීය (රොයිටර්)


RECOMMEND POSTS