ළැව් ගිනි දුමාරය මැලේසියාවට සිංගප්පූරුවට



ඉන්දුනීසියාවේ සුමාත්‍රා දූපතේ පැතිර යන ළැව් දුමාරය, අසල්වැසි මැලේසියාවටත් සිංගප්පූරුවටත් පැතිර ගොස් ඇති බවත්, මැලේසියාවේ ක්වාලාලාම්පූර් නුවර වැසියන්ට සහ සිංගප්පූරු වැසියන්ට මුහුණු ආවරණ පළඳින්නැයි සෞඛ්‍ය බලධාරීන් උපදෙස් ලබා දී ඇති බවත් වාර්තා වේ.

ඉන්දුනීසියාවට අයත් දූපත්වල පිහිටි නිවර්ත කලාපීය වනාන්තර ද ඇමසන් වැසි වනාන්තරය සේම, කාලගුණ විපර්යාස අවම කිරීමට දායක වෙයි. ඉන්දුනීසියාවේ වනාන්තරවල ළැව් ගිනි පැතිරීම ඉහළ ගොස් ඇත්තේ ද ඇමසන් වනාන්තරයේ ළැව් ගිනි පැතිර යන ආකාරයටය.

ඉන්දුනීසියා රජය ද සමාගම් රැසකට වනාන්තර හෙළිපෙහෙළි කිරීමට අවසර දී ඇති අතර 2015 වසරේ සිට මේ දක්වා ඉවක් බවක් නොමැතිව, වනාන්තර ගිනි තබීම සහ හෙළිපෙහෙළි කිරීම සිදුවෙයි. මෙම 2019 වසරේ ළැව් ගිනි පැතිර යෑම ඉහළ ගොස් ඇත.

ළැව් ගිනි දුමාරය තම වැසියන්ගේ සෞඛ්‍යයට අනතුරක් බව සිංගප්පූරු බලධාරීන් මෙන්ම මැලේසියානු රජය ද ඉන්දුනීසියා රජයට අවස්ථා කීපයකදී දැනුම් දී ඇත. කෙසේ නමුත් තම ළැව් ගිනි දුමාරය අසල්වැසි රටවල වැසියන්ට අනතුරක් නොවන බව ඉන්දුනීසියා රජය සහ එරට පරිසර අමත්‍යාංශය පිළිතුරු දී තිබේ.

ළැව් ගිනි පාලනය කිරීමට හෝ ළැව් ගිනි දුමාරය පැතිරීම වැලැක්වීමට හෝ නිසි පියවර නොගන්නේ නම් රාජ්‍ය තාන්ත්‍රික අර්බුදයක් හටගනු ඇතැයි සිංගප්පූරුව, මැලේසියාව ඉන්දුනීසියාවට දන්වා ඇතැයි විදෙස් පුවත් සේවා වාර්තා කරයි.

ක්වාලාලාම්පූර්හිදීය (ඒ.එෆ්.පී.)


RECOMMEND POSTS