හොංකොං සඳහා නව ආරක්ෂක නීති



‘කොවිඞ් 19’ හෙවත් නව කොරෝනා වයිරස ජරමර මැද හොංකොං සඳහා නව ආරක්ෂක නීති පද්ධතියක් හඳුන්වා දීමට චීන ජනාධිපති ෂී ජින්පින් ප්‍රමුඛ රජය සූදානම් වන අතර මෙය හොංකොං වැසියන්ගේ දැඩි විරෝධයට හේතුවක් වී ඇත.

හොංකොං යනු චීනයට අයත් වුවත් වෙනම පාලනයක් සහිත පාලන ප්‍රදේශයකි. හොංකොං සඳහා ඇත්තේ චීන හිතවාදී පාලක මණ්ඩලයකි. හොංකොං පාලිකාව කැරී ලෑම් ද චීන හිතවාදියෙකි.

චීන රජය මෙම ආරක්ෂක නීති පද්ධතිය හඳුන්වා දීමට සූදානම් වන්නේ ‘එක් රටක් පාලන ක්‍රම දෙකක්’ යන ඔවුන්ගේ සංකල්පය යටතේය. බ්‍රිතාන්‍ය යටත් විජිත සමයේ දී හොංකොං බි්‍රතාන්‍ය කොලනියක් විය. 1997 දී බි්‍රතාන්‍යය යළි හොංකොං චීනයට බාර දුන්නේය. එසේ වුවත් එදා සිට හොංකොං සඳහා වෙනම පාලන ක්‍රමයක් චීනය විසින් හඳුන්වා දෙනු ලැබ ඇත.

චීනය නව ආරක්ෂක නීති හඳුන්වාදීමත් සමඟ හොංකොං ප්‍රජාතන්ත්‍රවාදී දේශපාලන ක්‍රියාකාරීන් පවසා ඇත්තේ මෙය හොංකොං හි අවසානය වනු ඇති බවය. හොංකොං ක්‍රියාකාරීන්ට පක්ෂව කටයුතු කරන ඇමෙරිකාව ද චීනයේ මෙම නව ආරක්ෂක නීතිය සම්බන්ධයෙන් අප්‍රසාදය පළ කර ඇත.

පසුගිය වසරේ දී චීනය මේ අයුරින් හොංකොං සඳහා නව උදර්පණ නීතියක් සකස් කිරීමට උත්සාහ ගත්තේය. මිලියන ගණනක් හොංකොං වැසියන්ගෙන් ඊට විරෝධය එල්ල වුණු අතර, හොංකොං හි දෛනික කටයුතු මාස ගණනක් මුළුමනින්ම අඩපණ විය. ඒ අනුව චීනයට පක්ෂව හොංකොං පාලිකා කැරී ලෑම් හඳුන්වා දීමට උත්සහ කළ එම නව පනත හකුලා ගැනීම සිදුවිය.

හොංකොංහිදීය (ඒ.එෆ්.පී)


RECOMMEND POSTS