සුඩානයේ දිගටම විරෝධතා



ආරක්ෂක ඇමැති ජනරාල් අහ්මද් අවාද් ඉබින් අවුෆ් සහ හමුදාවේ මැදිහත්වීමෙන් සුඩානයේ බල පෙරැළියක් සිදුවී දීර්ඝ කාලයක් තිස්සේ බලයේ සිටි ජනාධිපති ඕමාර් අල් බෂාර් බලයෙන් නෙරපා දැමීම සිදුවුවත් එරට විරෝධතා තවමත් අවසන් වී නැත.

ඕමාර් අල් බෂාර් බලයෙන් ඉවත් කිරීමෙන් පසු ආරක්ෂක ඇමැති ජනරාල් අහ්මද් අවාද් ඉබින් අවුෆ්ගේ නායකත්වයෙන් යුත් හමුදා කවුන්සිලය රටේ පාලනය අතට ගත්තේය.

වසර දෙකක් එම හමුදා කවුන්සිලය රටේ පාලනය ගෙන යන බවත්, ඉන්පසු මැතිවරණයක් පැවැත්වීමට කටයුතුකරන බවත් ආරක්ෂක ඇමැතිවරයා කියා සිටියේය.

කෙසේ නමුත් හදිසි නීතිය ප්‍රකාශ කර තිබුණත් සුඩාන වැසියන්වීදි බැස දිගටම විරෝධතා පවත්වයි. ඒ, ජනාධිපති ඕමාර් අල් බෂාර්ගේ දෙවැනියා ලෙස කටයුතු කළ අහ්මද් අවාද් ඉබින් අවුෆ් ට සහ හමුදා කවුන්සිලයට විරෝධය දක්වමිනි. සුඩාන වැසියන් පවසන්නේ, ඔවුන්ට සිවිල් අන්තර්වාර පාලකයකු අවශ්‍ය බවය.

ඒ අනුව, විරෝධතා හමුවේතමන් පාලක හමුදා කවුන්සිලයෙන් ඉවත් වන බව ජනරාල් අහ්මද් අවාද් ඉබින් අවුෆ් නිවේදනය කළේය. ඕමාර් අල් බෂාර් වසර 30 ක් පුරාවට සුඩානයේ බලයේ රැඳී සිටියේය. බෂාර් තමාගෙන් පසු රටේ පාලනය බාර ගත යුතු යැයි නම් කර තිබෙන්නේ ද අහ්මද් අවාද් ඉබින් අවුෆ් ය.

(අල් ජසීරා)


RECOMMEND POSTS