සැකකරුවන්ට පොලිසියෙන් වෙඩි



ඉන්දියාවේ තෙලංගානා ප්‍රාන්තයේ පශු වෛද්‍යවරිය දූෂණය කර මරා දැමීමේ සිද්ධියට සම්බන්ධ සැකකරුවෝ සිවුදෙනා අද (6) අලුයම පොලිසිය කළ වෙඩි තැබීමෙන් ජීවිතක්ෂයට පත්වූහ.

පොලිසිය පවසන ආකාරයට, පොලිස් නිලධාරීන් අද (6) අලුයම 3 ට පමණ සැකකරුවන් සිවුදෙනා පශු වෛද්‍යවරියගේ මළසිරුර හමුවුණු ස්ථානයට රැගෙන ගොස් ඇත්තේ වැඩිදුර පරීක්ෂණ සඳහාය. එම අවස්ථාවේදී, සැකකරුවෝ පොලිස් නිලධාරීන්ට පහර දී, ඔවුන් සතු ගිනි අවි උදුරාගෙන පලා යෑමට තැත් කළහ. පොලිස් නිලධාරීන් සැකකරුවන්ට වෙඩි තැබූ බවත් එයින් ඔවුන් මියගිය බවත් පැවැසෙයි. සැකකරුවන් සිවුදෙනා කළ පහරදිමෙන් පොලිස් නිලධාරීන් දෙදෙනකු තුවාල ලබා ඇත.

හයිද්‍රාබාද් නුවරදී, 27 හැවිරිදි එම පශු වෛද්‍යවරිය දූෂණය කර, මරා දැමීඹ සිදුවූයේ පසුගිය 27 වැනිදාය. එදා රාත්‍රියේ ඇගේ සිරුර හයිද්‍රාබාද් නුවරට කිලෝ මීටර් 60 ක් දුරින්, ගුවන් පාලමක් යට පුළුස්සා දැම සිදුවිය. පොලිසිය සිරුර හමුවූයේ 28 වැනිදාය. එය පශු වෛද්‍යවරියගේ බව තහවුරු විය.

පශු වෛද්‍යවරිය දූෂණය සහ ඝාතනය සම්බන්ධයෙන් පොලිස් පරීක්ෂණ කඩිනමින් ආරම්භ වූයේ මුළුමහත් ඉන්දියාවම මෙම සිදුවීමෙන් කම්පනයට පත්වූ නිසාය. ඒ අනුව, දින දෙකක් ගතවෙද්දී අවුරුදු 26 ක් වයසැති මොහොම්මද්, අවුරුදු 20 ක් වයසැති ජොල්ලු ශිවා, අවුරුදු 20 ක් වයසැති ජොල්ලු නවීන් සහ අවුරුදු 20 ක් වයසැති චින්තකුන්ටා චෙන්නකෙස්ෂාහවුලු අත්අඩංගුවට ගැනීම සිදුවිය. 26 හැවිරිදි මොහොම්මද් නමැත්තා ලොරි රියදුරෙකි. අනෙක් තිදෙනා පිරිසුදු කිරීමේ සේවකයන් ලෙස රැකියාව කළ තරුණයන් යැයි ඉන්දීය පුවත් සේවා වාර්තා කර තිබේ.

පොලිස් අත්අඩංගුවේ සිටි සැකකරුවන්ට වෙඩි තැබීම සහ ඔවුන් මියයෑම සම්බන්ධයෙන් පොලිස් නිලධාරීන්ට එරෙහිව විශේෂ විමර්ශනයක් පවත්වා, නීතිය ක්‍රියාත්මක කරන බව ප්‍රාන්ත බලධාරීන් පවසා ඇත.  සැකකරුවන්ට වෙඩි තැබීම සම්බන්ධයෙන් පොලිසියට දොස් ඇසීමට සිදුවීමත් සමඟ ප්‍රාන්ත පොලිස්පති වී.සී. සජ්නාර් මාධ්‍ය හමුවේ කියා සිටියේ පොලිස් නිලධාරීන්ගේ ගිනි අවි උදුරා ගැනීමටත් පලා යෑමටත් තැත් කළ බැවින් ඔවුන්ට වෙඩි තැබීම කරණු හැර වෙන විකල්පයක් නොතිබුණු බවය.

සිද්ධිය සම්බන්ධයෙන් ඉන්දීය වැසියෝ බොහෝ දෙනකු සමාජ ජාල හරහා පවසා ඇත්තේ ‘යුක්තිය ඉටුවුණා’ යන්නය. මීට වසර 7 කට පෙර 2012 දී නවදිල්ලි නුවර බස් රියකදී වෛද්‍ය සිසුවියක සමූහ දූෂණයට ලක්වූවාය. රෝහල්ගත කළ ඇය දින කීපයකට පසු මියගියාය. නිර්භයා නමැති එම තරුණියගේ මව ඉන්දීය පුවත් සේවාවලට අදහස් දක්වමින් පොලිසියට ප්‍රසංශා කර ඇත. සැකකරුවන්ට අත්වුණු ඉරණම සම්බන්ධයෙන් තමන් සතුටු වෙනවා යැයි ඇය ඉන්දීය මාධ්‍ය හමුවේ පවසා තිබේ.

හයිද්‍රාබාද් පශු වෛද්‍යවරිය දූෂණය කර මරා දැමූ සැකකරුවන් සිවුදෙනා අත්අඩංගුවට ගත් අවස්ථාවේදී, ඉන්දීය පාර්ලිමේන්තු මන්ත්‍රීවරියක වන ජයා භච්චන් පවසා තිබුණේ සැකකරුවන් සිවු දෙනා නඩු විභාගයකින් තොරව මරා දැමිය යුතු බවය. ජයා භච්චන් යනු ඉන්දීය බොලිවුඞ් නිළියකි. ජනප්‍රිය මෙන්ම සම්මානනීය බොලිවුඞ් නළු අමිතාබ් භච්චන්ගේ බිරිඳ වන්නේ ද ඇයයි. පශු වෛද්‍යවරිය දූෂණය කර මරා දැමීම සම්බන්ධයෙන් ඉන්දියාවේ විවිධ පක්ෂවල දේශපාලනඥයන් සහ මන්ත්‍රීවරුන් රැසක් ද පවසා ඇත්තේ නඩු විභාගයකින් තොරව සැකකරුවන් මරා දැමිය යුතු බවය.

නවදිල්ලියේදීය (ඒ.එෆ්.පී.)


RECOMMEND POSTS