සාකච්ඡාවට උතුරු කොරියාව කැමතියි



දකුණු කොරියාව කළ ආරාධනා පිළිගනිමින්, දෙරට අතර පවතින නොහොඳ නෝක්කඩු මඟහරවා ගැනීමට සාකච්ඡා පැවැත්වීමට උතුරු කොරියානු රජය සිය කැමැත්ත පළ කළේය.

සීත ඔලිම්පික් උලෙළ ලබන පෙබරවාරි නව වැනිදා දකුණු කොරියාවේ පැවැත්වෙයි. දකුණු කොරියානු රජය ඊට සහභාගී වෙන්නැයි උතුරු කොරියාවට පසුගිය දා ඇරැයුම් කළේය.

එම ඇරැයුම ද තමන් පිළිගන්නා බවත් ඔලිම්පික් උලෙළ වෙනුවෙන් තම ක්‍රීඩක ක්‍රීඩිකාවන් පිරිසක් දකුණු කොරියාවට රවන බවත් උතුරු කොරියාව නිකුත් කළ නිවේදනයෙහි වැඩි දුරටත් සඳහන් වෙයි.

දකුණු කොරියාවේ බටහිර හිතවතා ඇමෙරිකාවය. ඇමෙරිකානු හමුදා කඳවුරු දකුණු කොරියාවේ පිහිටුවා ඇත. දකුණු කොරියාව ඇමෙරිකාව සමඟ එක් වී, මාස කිහිපයකට වරක් යුද අභ්‍යාස පවත්වයි. ඒ, කොරියානු අර්ධද්වීපය කේන්ද්‍රකොට ගනිමිනි.

මෙම යුද අභ්‍යාස උතුරු කොරියාව ප්‍රකෝප කිරීමට හේතුවක් වී ඇත. උතුරු කොරියාව මිසයිල අත්හදා බලමින්, ඇමෙරිකාවටත් අසල්වැසි සෙසු රටවලටත් තර්ජනයක් වී ඇත්තේ ද මෙම යුද අභ්‍යාස මුල්කොට ගනිමිනි.

සීත ඔලිම්පික් උලෙළ මුල්කොට ගනිමින් යුද අභ්‍යාස තාවකාලිකව නවත්වන බව ඇමෙරිකාව සහ දකුණු කොරියාව නිවේදනය කළේය. එම නිවේදනය සැලකිල්ලට ගනිමින්, දකුණු කොරියානු ජනාධිපති මූන් ජේ ඉන්ගේ නම්‍යශීලී ප්‍රතිපත්තිවලට ගරු කරමින්, සාකච්ඡා පැවැත්වීමට තමන් එකඟ බව උතුරු කොරියානු නායක කිම් ජොන් උන් කැමැත්ත පළ කළේ යැයි වාර්තා වූයේ ඉන් පසුවය.

ඒ අනුව, උතුරු කොරියාවේත් දකුණු කොරියාවේත් නියෝජිතයන් දෙරටටම පොදු, ‘පැන්මුන්ජෝන්’ දේශසීමා සාම ගම්මනයේ දී සාකච්ඡා පැවැත්වෙනු ඇත. අවසන් වරට මේ අයුරින් සාකච්ඡා පැවැත්වූයේ 2015 දීය. මීට පෙර පැවැති රජයයන් මෙන් නොව, ජනාධිපති මූන් ජේගේ රජය උතුරු කොරියාව සමඟ යහපත් සබඳතා ඇති කර ගැනීමට උත්සාහ දරයි. මූන් ජේ දකුණු කොරියාවේ ජනපති වූයේ පසුගිය වසරේදීය. උතුරු කොරියාව සමඟ යහපත් සබඳතා ඇති කර ගැනීම ඔහුගේ ඡන්ද පොරොන්දුවක් විය.

(ඒ.එෆ්.පී.)


RECOMMEND POSTS