සසිකලා හිරේ



අයථා මුදල් ඉපැයීමේ චෝදනාවලට වරදකාරිය වී ඉන්දීය ශ්‍රේෂ්ඨාධිකරණය මගින් සිවු වසරක සිර දඬුවම් නියමවුණු  තමිල්නාඩු මහ ඇමැති ධුරය අපේක්ෂාවෙන් සිටි සසිකලා නට්රාජන් බැංගලෝර් මහාධිකරණයට බාරවුණු අතර ඉන්පසු ඇය බන්ධනාගාරගත කෙරුණි.

තමා අධිකරණ තීන්දුවට හිස නමනවා යැයි පවසමින්, සසිකලා චෙන්නායි නුවර සිට බැංගලෝර් බලා ගමන් කළේ ඇයට හිතවත් අන්නා ද්‍රවිඩ මුනේත්‍ර කසාගම් පක්ෂ ආධාරකරුවන් පිරිවරා ගත් රිය පෙරහරකිනි. 

චෙන්නායි නුවර ‘මැරීනා බීච්’ වෙරළට නුදුරින් අභාවප්‍රාප්ත ජයලලිතා ජයරාම්ගේ සොහොන් ගැබ වෙත ගොස් ආචාර කිරීමට ද සසිකලා අමතක නොකළාය. තමිල්නාඩුවේ මහ ඇමැතිනිය වීමට බලාපොරොත්තුවෙන් සිටි සසිකලා, අභාවප්‍රාප්ත මහ ඇමතිනි ජයලලිතා ජයරාම්ගේ සමීපතම හිතවතිය වෙයි. ජයලලිතාගේ සොහොනට ආචාර කරද්දී සසිකලා කඳුළු සැලූ බව ඉන්දීය පුවත් සේවා වාර්තා කළේය.

සසිකලා නට්රාජන් දූෂණ චෝදනාවලට වරදකරු බව ඉන්දීය ශ්‍රේෂ්ඨාධිකරණය නියෝග කළේ පසුගිය 14 වැනිදාය. දූෂණ චෝදනාවලට වරදකරු කරමින් ශෂිකලාට සිව් වසරක සිර දඬුවමක් නියම කිරීමට ඉන්දීය ශ්‍රේෂ්ඨාධිකරණය කටයුතු කළේය. 
ඉන්දීය නීතිය අනුව ඇයට වසර හයක කාලයක් දේශපාලනයේ නිරත වීමට හැකියාව නොලැබෙනවා පමණක් නොව, ඇයට වසර 10 ක් දේශපාලනයේ නිරත වීමට ද නොහැකි වෙයි.

 

(එන්.ඩී.ටීවී.)


RECOMMEND POSTS