සමෝවා දූපත් රාජ්‍යයේ සරම්ප වසංගතයක්



සමෝවා දූපත් රාජ්‍යයේ සරම්ප වසංගතයක් පැතිර යමින් පවතින බවත් සරම්ප වැලඳීමෙන් 53 දෙනකු ජීවිතක්ෂයට පත්ව ඇති බවත් විදෙස් පුවත් සේවා වාර්තා කරයි. මියගිය වැඩි දෙනා කුඩා දරුවන් යැයි පැවැසෙයි.

හදිසි තත්ත්වයක් ප්‍රකාශයට පත් කිරීමට සමෝවා රජය කටයුතු කිරීමත් සමඟ නවසීලන්ත සහ ඕස්ටේ්‍රලියා වෛද්‍ය කණ්ඩායම් කිහිපයක් සරම්ප එන්නත් ද රැගෙන දූපතට පැමිණියේය. මාස 6 සිට අවුරුදු 60 දක්වා සැමට සරම්ප එන්නත් විදීම මේ වනවිටත් සිදුවෙමින් පවතින බව වාර්තා වේ.

සමෝවා දූපතේ ජනගහනය ලක්ෂ දෙකකි. වසංගත තත්ත්වය හේතුවෙන් සියලු පාසල් සහ උසස් අධ්‍යාපන ආයතන වසා දමා ඇති බවත්, ප්‍රසිද්ධ තැන්වල ගැවසීමෙන් වළකින ලෙස සමෝවා රජය දූපත් වැසියන්ට උපදෙස් දී ඇති බවත් වාර්තා වේ.

සමෝවා යනු ඔස්ටේ්‍රලියාවට නැගෙනහිර දෙසින් සහ නවසීලන්තයට උතුරු දෙසින් පිහිටා ඇති දූපත් රාජ්‍යයකි. සමෝවා දූපත් රාජ්‍යය නවසීලන්ත යටත් විජිතයක් ලෙස පැවැති අතර, නිදහස ලැබුණේ 1889 වසරේදීය. ප්‍රමාණය වර්ග කිලෝ මීටර් 2,842 කි. සමෝවා දූපතේ නිල භාෂා වන්නේ ඉංග්‍රීසි සහ සමෝවා ය. ක්‍රිස්තියානි ආගම නිල ආගම ලෙස සැලකෙයි.

අපියාහිදීය (ඒ.එෆ්.පී.)


RECOMMEND POSTS