විශ්වයේ ඈතින් අබිරහස් සංඥා ලැබිලා



විශ්වයේ ඈතින් අබිරහස් ගුවන් විදුලි සංඥා ලැබෙමින් පවතින බවත්, එය තමන් මවිතයට පත් කිරීමට සමත් වී ඇති බවත් කැනඩා තාරකා භෞතික විද්‍යාඥයෝ පිරිසක් අනාවරණය කළහ.

විශ්වයේ ඈතින් පැමිණෙන ගුවන් විදුලි සංඥා අරුමයක් නොවෙයි. කෙසේ නමුත් කැනඩා විද්‍යාඥයන්ට පසුගිය දා හසු කර ගැනීමට හැකිවී ඇති සංඥා එකම ආකාරයට පිටපිට අවස්ථා කිහිපයකදී ලැබී ඇත. එවැන්නක් මින් පෙර සිදුවී නැති බව ද පැවැසෙයි.

විශ්වයේ ඈත අලෝක වර්ෂ බිලියන 1.5 ක දුරකින් පැමිණි මෙම ගුවන් විදුලි සංඥා හසුකර ගැනීමට හැකිවී ඇත්තේ කැනඩාවේ හයිඩ්‍රජන් ත්‍රීවතා සිතියම්ගත කිරීමේ පර්යේෂණාගාරය යන නමින් නම් කළ ගුවන් විදුලි තරංග දුරේක්ෂයටය. ලොව විශාලතම ගුවන් විදුලි දුරේක්ෂය මෙයයි. එය පා පන්දු පිටියක් තරම් විශාල යැයි මාධ්‍ය වාර්තා පෙන්වා දෙයි.

‘විශ්වයේ සිදුවන හැලපැප්පීම් සහ විශේෂ සිදුවීම් මුල්කොට ගනිමින් ගුවන් විදුලි තරංග මුදා හැරීම සිදුවෙනවා. එය සාමාන්‍ය දෙයක්. නියුට්‍රෝන තරු එකිනෙක මුසු වෙද්දී සහ කළු කුහර ඇති විට ද ගුවන් විදුලි තරංග නිකුත් වෙනවා. ඒවා නිරන්තරයෙන් පෘථිවි තාරකා විද්‍යාඥයන් විසින් හඳුනා ගනු ලබනවා.  කෙසේ නමුත් පිටපිට එක සමාන ආකාරයට ලැබුණු මේ ගුවන් විදුලි තරංග අපට ප්‍රෙහේලිකාවක්. විශ්වයේ බුද්ධිමත් ජීවීන් පිරිසක් එවූ සංඥා විය හැකි යැයි ඇතැම් විද්‍යාඥයන්ගේ විශ්වාසය වී තිබෙනවා’ යැයි කැනඩාවේ මැගිල් විශ්ව විද්‍යාලයේ තාරකා විද්‍යාඥ ඉන්දීය සම්භවයක් සහිත ශ්‍රීහර්ෂ තෙන්ඩුල්කා මාධ්‍ය හමුවේ පැහැදිලි කර තිබේ.

(ඒ.එෆ්.පී.)

 


RECOMMEND POSTS