විරෝධතා මැද ට්‍රම්ප් බංකරයක සැඟවෙයි



මිනියැපොලිස් නුවර කළු ජාතික ජෝජ් ෆ්ලොයිඩ් මියයෑමේ සිදුවීම සම්බන්ධයෙන් ඊට විරෝධය පළ කරමින්, ප්‍රකෝපකාරී විරෝධතා රැලියක් වොෂින්ටන් අගනුවර ධවල මන්දිරිය ඉදිරිපිට පැවැත්වුණු අතර, විරෝධතාකරුවන්ගෙන් ප්‍රහාරයක් එල්ල වේවි යැයි බියෙන් ඇමෙරිකන් ජනාධිපති ඩොනල්ඞ් ට්‍රම්ප් ධවල මන්දිරය පහළ ආරක්ෂිත බංකරයේ සැඟවිණි.

මේ බව අනාවරණය කළේ නිව්යෝක් ටයිම්ස් පුවත්පතය. ධවල මන්දිරය ඉදිරිපිට විරෝධතා ප්‍රචණ්ඩකාරී ස්වරූපයක් ගත් අවස්ථාවේදී සීක්‍රට් සර්විස් ජනපති ආරක්ෂක නිලධාරීන් උපදෙස් දී ඇත්තේ ජනපතිවරයා බංකරයට ගෙන ගොස් එහි රඳවා තැබිය යුතු බවය. ධවල මන්දිරයට සතුරු ප්‍රහාරයක් එල්ල වුවහොත්, ජනපතිවරයාගේ ආරක්ෂාව වෙනුවෙන් සියලුම පහසුකම්වලින් සමන්විත මෙම භූගත බංකරය නිර්මාණය කර ඇත.

කළු ජාතික ජෝජ් ෆ්ලොයිඩ්ගේ මරණය සිදුවූයේ, මිනියැපොලිස් පොලිස් නිලධාරී ඩෙරික් චුවෑන්, ඔහු අත්අඩංගුවට ගෙන ඔහුට මාංචු දමා බිම දිගා කරවා, ඔහුගේ බෙල්ල දණහිසින් පාගා තද කිරීමෙනි. එම සුදු ජාතික පොලිස් නිලධාරියා අත්අඩංගුවට ගෙන ඇති අතර ඔහුට මිනීමැරුම් චෝදනා එල්ල කරන බව ද පැවැසෙයි.

ජෝජ් ෆ්ලොයිඩ්ගේ මරණය සිදුවන අයුරු සමාජ මාධ්‍ය ඔස්සේ ප්‍රසිද්ධ වෙද්දී, මිනියැපොලිස් නුවර වැසියන්ගෙන් ඊට පළමුවෙන් විරෝධයක් එල්ල විය. ඒ, නගර බලධාරීන් පමණක් නොව ජනපද බලධාරීන් පවා සුදු පොලිස් නිලධාරියා සම්බන්ධයෙන් නීතිය ක්‍රියාත්මක කිරීම ප්‍රමාද වූ බැවිනි.

මිනසෝටා ජනපදයෙන් ඇරැඹුණු විරෝධතා ඇමෙරිකාවේ ප්‍රධාන නගර රැසක් පුරා පැතිර ගොස් ඇති අතර, වොෂින්ටන් අගනුවර ධවල මන්දිරයට අභිහස ද ප්‍රකෝපකාරී විරෝධතා හටගත්තේ ඒ අනුවය.

වොෂින්ටනයේදීය (රොයිටර්)


RECOMMEND POSTS