වැඩිහිටියන් බේරාගන්න ඔක්ස්ෆර්ඞ් එන්නතට පුළුවන්



‘කොවිඞ් 19’ හෙවත් නව කොරෝනා වයිරසයට එරෙහිව වැඩිහිටි පුද්ගලයන්ගේ සිරුරේ ද ශක්තිමත් ප්‍රතිශක්තියක් නිර්මාණය කිරීමට  ඔක්ස්ෆර්ඞ් විශ්ව විද්‍යාලයේ වෛද්‍ය පර්යේෂකයන් නිපදවන එන්නතට හැකියාවක් ඇතැයි පර්යේෂණවලින් තහවුරු වී තිබේ.

බ්‍රිතාන්‍යයේ ඔක්ස්ෆර්ඞ් විශ්ව විද්‍යාලයේ වෛද්‍ය පර්යේෂකයන් මෙම එන්නත නිපදවන්නේ ‘ඇස්ට්‍රා සෙනකා’ ඖෂධ සමාගම සමඟ සම්බන්ධ වෙමිනි. අවුරුදු 60 ත් 70 ත් අතර අවදානම් වයස් කාණ්ඩයේ පසුවන වැඩිහිටියන් ‘කොවිඞ් 19’ වයිරසයෙන් ගලවා ගැනීමට ඔක්ස්ෆර්ඞ් එන්නතට ඒ අනුව හැකියාව ලැබෙනු ඇතැයි වෛද්‍ය පර්යේෂකයෝ පෙන්වා දෙති.ෙ

‘කොවිඞ් 19’ වයිරසය ආසාදනය වීම වැළැක්වීමට එන්නතක් නිපදවීමේදී ඉදිරියෙන් ම පසුවූයේ ඔක්ස්ෆර්ඞ් වෛද්‍ය පර්යේෂකයන්ගේ මෙම එන්නතය. කෙසේ නමුත්, තෙවැනි අදියරේ පළමු වටයේ සායනික අත්හදා බැලීම්වලදී අතුරු ආබාධ සහ සංකූලතා පෙන්නුම් කළ බැවින්, එන්නත සම්බන්ධයෙන් යළි යළිත් පර්යේෂණ සිදුවිය.

අවුරුදු 60 ත් 70 ත් අතර නිරෝගී පුද්ගලයන් 560 දෙනකු සම්බන්ධ කර ගනිමින් එන්නත අත්හදා බැලූ අතර, කිසිදු සංකූලතාවකින් තොරව, වයිරසයෙන් ආරක්ෂා වීමට එම පිරිසට හැකියාව ලැබී ඇත.

ඔක්ස්ෆර්ඞ් එන්නතේ තෙවැනි අදියරේ අවසන් අත්හදා බැලීම් ලබන සතියේ අවසන් වනු ඇති බවත්, ඉන්පසු එන්නත බෙදා හැරීමට කටයුතු කරන බවත් ‘ඇස්ට්‍රා සෙනකා’ පවසා තිබේ. ‘ඇස්ට්‍රා සෙනකා’ යනු කේම්බ්‍රිජ් කේන්ද්‍රකොට ගත් ජෛව පර්යේෂණ ආයතනයකි.

ලන්ඩනයේදීය (රොයිටර්)

 


RECOMMEND POSTS