ලඩාක් ගැන සාකච්ඡා



නැගෙනහිර ලඩාක් ප්‍රදේශයේ දේශසීමා ගැටුම් අවසන් කිරීම සහ අර්බුද සමථයකට පත් කිරීම සම්බන්ධයෙන් නැවත විමසා බැලීම සම්බන්ධයෙන් සාකච්ඡා කිරීම සඳහා ඉන්දීය විදේශ අමාත්‍ය සුබ්‍රමනියම් ජයිශංකර් චීන විදේශ අමාත්‍ය වැන් යී ට දුරකතන ඇමතුමක් ලබා දී ඇත.

ඉන්දු-චීන දේශසීමාවේ පිහිටි ලඩාක් හි නැගෙනහිර කොටස කේන්ද්‍ර කරගනිමින් ඉන්දියාව සහ චීනය අතර අර්බුද ඇති විය. මේ අර්බුද සමථයකට පත් කිරීම සඳහා ඉන්දු-චීන බලධාරීන් රුසියාවේ මොස්කව් අගනුවර දී එකඟතාවකට පැමිණියහ.

මේ සම්බන්ධයෙන් ඉදිරි ක්‍රියාමාර්ග සාකච්ඡා කිරීම සඳහා ඉන්දීය විදේශ අමාත්‍යවරයා මෙලෙස චීන විදේශ අමාත්‍ය වැන්ග් යීට දුරකතන ඇමතුමක් ලබා දී තිබේ.

මොස්කව් ගිවිසුම සම්බන්ධයෙන් සාකච්ඡා කිරීම සඳහා තමන් චීන විදේශ අමාත්‍යවරයාට දුරකතන ඇමතුමක් දුන්නේ යැයි ඉන්දීය විදේශ අමාත්‍ය සුබ්‍රමනියම් ජයිශංකර් ට්විටර් පණිවුඩයක් නිකුත් කරමින් සඳහන් කළේය.

ලඩාක් හි පිහිටි පැන්ගොන්ග් විලේ උතුරු සහ දකුණු ඉවුරුවල සිටින හමුදා ඉවත් කරගැනීමට දෙරටම පියවර ගැනීමත් සමඟ මෙම නව සාකච්ඡා ආරම්භ වී තිබේ.

දේශසීමා බළඇණි අතර සංවාදය, ඉක්මනින් ගැටුම් නිරාකරණය සහ ගැටුම් අවම කරගැනීම, පරතරය පවත්වා ගැනීම යනාදී වශයෙන් පසුගිය වසරේ දී චීනය සහ ඉන්දියාව අතර එකඟතා පහක් ද ඇති කරගත් අතර ඒ සම්බන්ධයෙන් ද දෙරටේ විදේශ අමාත්‍යවරුන් සාකච්ඡා පවත්වා ඇත.

දෙරට අතර විශ්වාසය ගොඩනැගීම අරමුණු කරගනිමින් එම එකඟතා ඇති කරගන්නා ලදි. දෙරටේ විදේශ අමාත්‍යවරුන් දෙදෙනා අතර දුරකතන සංවාදය විනාඩි 75ක් තරම් දීර්ඝ වූ බව ද ඉන්දීය මාධ්‍ය වාර්තා කර තිබිණි.

(ඒ.එෆ්.පී.)


RECOMMEND POSTS