ලක් සිසුවියෝ තිදෙනෙක් මරුට



අසර්බයිජානයේ පෞද්ගලික විශ්වවිද්‍යාලයක පුහුණු පාඨ මාලාවක නිරතවෙමින් සිටි ශ්‍රී ලාංකික තරුණියන් තිදෙනෙකු ගින්නකට හසුවීමෙන් ජීවිතක්ෂයට පත්ව ඇති බව එරට මාධ්‍යයක් වාර්තා කර ඇත.

මේ සම්බන්ධයෙන් ඩුබායිහි ශ්‍රී ලංකා කොන්සියුලර් කාර්යාලය වෙත අදාළ විශ්ව විද්‍යාලය මගින් දැනුම්දී ඇති බව සඳහන්.

මෙම තරුණියන් තිදෙනා නවාතැන් ගෙන සිටි,අසර්බයිජානයේ බකූ අගනුවර බේයිල් නාගරික සීමාවේ දෙමහල් නිවසක බිම්මහලක 09 රාත්‍රියේ ගින්නක් හටගෙන ඇත.

ගින්නෙන් හටගත් විෂ දුම ආඝ්‍රාණය වීම නිසා සිසුන් තිදෙනාම ජීවිතක්ෂයට පත්ව ඇති බවයි එරට මාධ්‍ය වාර්තා කරන්නේ.

ගින්නට හේතුව එම නිවසේ විදුලි පරිපථයේ දෝෂයක් බවට හඳුනාගෙන ඇති බවද විදෙස් මාධ්‍ය වාර්තා කළේය.

අසර්බයිජානයේ වෙස්ට් කැස්පියන් පෞද්ගලික විශ්ව විද්‍යාලයේ ඉංග්‍රීසි පුහුණු පාඨමාලාවක් හැදැරීම සඳහා මෙම ශ්‍රී ලාංකික තරුණියන් තිදෙනා පසුගිය වසරේ අගෝස්තු 20 වැනිදා එම විශ්ව විද්‍යාලයට ඇතුළත් වී ඇති බව වාර්තා වෙයි.

එම විශ්ව විද්‍යාලය සතුව නේවාසිකාගාරයක් නොමැති බව හා වෙනත් නවාතැනක් කුලී පදනම මත ලබාගැනීම සඳහා විශ්ව විද්‍යාලයෙන් සේවා සැපයීමක්ද සිදුනොකර බවට එම සිසුන්ට පාලනාධිකාරිය දැනුම් දී තිබුණි.

ඒ හේතුවෙන් ඔවුන් මෙම ස්ථානයේ නවාතැන් ගෙන සිටි බවයි පැවසෙන්නේ.

කෙසේවෙතත් රාජ්‍ය තාන්ත්‍රික කටයුතු සඳහා අසර්බයිජානයේ ශ්‍රී ලංකා කොන්සියුලර් සේවයක් නොමැති බැවින් වෙස්ට් කැස්පියන් විශ්ව විද්‍යාලය සිද්ධිය සම්බන්ධයෙන් ඩුබායිහි ශ්‍රී ලංකා කොන්සියුලර් කාර්යාලය වෙත දැනුම් දී ඇතැයිද විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

සිද්ධිය සම්බන්ධ ඉදිරි පියවර ගැනීම සඳහා එම කාර්යාලයේ උපදෙස් අපේක්ෂාවන් සිටින බවද විශ්ව විද්‍යාලය පවසා ඇත.

( තිළිණි ද සිල්වා )


RECOMMEND POSTS