යුරෝපයේ කොරෝනා වැඩිවෙයි



ඇමෙරිකාවේත් යුරෝපා රටවලත් කොවිඩ් 19 හෙවත් නව කොරෝනා වයිරස ආසාදිතයන් ගණන දිනෙන් දින ඉහළ යමින් ඇතැයි ලෝක සෞඛ්‍ය සංවිධානය බිය පළ කරයි.

තවමත් කොරෝනා ආසාදිතයන් සහ මරණ අතින් ලොව අංක එක ස්ථානයේ පසුවන්නේ ඇමෙරිකාවය. ඇමෙරිකාවෙන් වාර්තා වන ආසාදිතයන් ගණන 8,216,315 ක් වන අතර මරණ වාර්තා වන්නේ 222,717 ක් ලෙසිණි.

යුරෝපා රටවල් අතරින් ආසාදිතයන් වැඩිවීමට පටන්ගෙන ඇත්තේ ස්පාඤ්ඤය, මහා බ්‍රිතාන්‍යය, ප්‍රංශයයි. ප්‍රංශ ජනාධිපති ඉමැනුවෙල් මැක්රොන් පැරිසිය ඇතුළු නගර 9 කට රාත්‍රී කාලයේ ඇදිරි නීතිය පැනැවීමට ද පියවර ගෙන තිබේ. ප්‍රංශයෙන් වාර්තා වන දෛනික කොරෝනා ආසාදිතයන් ගණන 30,000 කෙක් වැඩි වී ඇතැයි ද පැවැසෙයි.

බ්‍රිතාන්‍ය සෞඛ්‍ය අංශ බිය පළ කර ඇති අන්දමට මේ වනවිට එරට කොරෝනා දෙවැනි රැල්ල ආරම්භ වී තිබේ. ආසාදිතයන් වැඩිවීමට පටන් ගැනීමත් සමග සංචරණ සීමා පැනවීම, පුද්ගලයන් ඒකරාශීවීම තහනම් කිරීම ආදී තහංචි පැනැවීමට බ්‍රිතාන්‍ය සෞඛ්‍ය අංශ පියවරගෙන ඇත. ප්‍රංශය, බ්‍රිතාන්‍ය ඇතුළු කලාපීය රටවල් 8ක් සඳහා දැඩි සංචරණ සීමා පැනවීමට පියවරගෙන ඇතැයි වාර්තා වේ.

ඊයේ (15) වනවිට ලෝකයේ සමස්ත කොරෝනා ආසාදිතයන් ගණන 39,200,000 පසු කළ අතර මරණ 1,103,100 තෙක් ඉහළ ගියේය. වයිරසය ආසාදනය වී පූර්ණ සුවය ලැබූ ගණන 29,381,358 ක් යැයි ලෝක සෞඛ්‍ය සංවිධානය නිකුත් කළ නිවේදනයක දැක්වෙයි.

ලන්ඩන් නුවරදීය (ඒ.එෆ්.පී.)


RECOMMEND POSTS