මාස්ක් පලඳින්න ඕනෑ



නිවසින් බැහැරව යෑමේදී පමණක් නොව, සමාජ දුරස්ථභාවය රැක ගැනීමට නොහැකි නම්, නිවස තුළදී පවා අවුරුදු 5 ට වැඩි සියලුම දෙනා මුහුණු ආවරණ (මාස්ක්) පැලැඳිය යුතු යැයි ස්පාඤ්ඤ රජය පැවැසීය.

අවුරුදු 5 ට අඩු පොඩිත්තන් සහ නොයෙක් දීර්ග කාලීන රෝගී තත්ත්වයන්ගෙන් පෙළෙන පුද්ගලයන්ට පමණක් මෙම නීතිය වලංගු වන්නේ නැති බව ද ස්පාඤ්ඤ රජය නිකුත් කළ නිවේදනයේ දැක්වෙයි.

මේ වනවිට යුරෝපා රටවල් සියල්ලේම පාහේ, නිවසින් පිටතට යෑමේ දී මාස්ක් පැලඳීම අනිවාර්ය කර ඇත. කෙසේ නමුත් ‘කොවිඞ් 19’ වයිරසයෙන් දරුණු පෙස බැට කෑ ස්පාඤ්ඤය මුහුණු ආවරණ  පැලඳීමේ නීති දැඩි කර ඇත.

ස්පාඤ්ඤ රජය මෙම තීරණය ගෙන ඇත්තේ එරට සෞඛ්‍ය බලධාරීන්ගේ උපදෙස් අනුවය. සති ගණනක් තිස්සේ ‘ලොක්ඩවුන්’ කරනු ලැබූ ස්පාඤ්ඤය මේ වනවිට එම ලොක්ඩවුන් තහංචි සහ නිරෝධායන රෙගුලාසි ලිහිල් කර තිබේ. අත්‍යාවශ්‍ය සේවා කෙමෙන් කෙමෙන් ආරම්භ කර තිබේ.

‘කොවිඞ් 19’ වයිරසය හේතුවෙන් ස්පාඤ්ඤයේ 28,000 ක් මියගියහ. ආසාදිතයන් 2,32,000 ක් හඳුනා ගැනුනි. කෙසේ නමුත් පසුගිය මාර්තුවේ සිට ආසාදිතයන් සහ මරණ කෙමෙන් කෙමෙන් පහත වැටුණි.

‘කොවිඞ් 19’ වසංගතයට පෙර සිටම චීනය, හොංකොං සහ තායිවානය වැනි රටවල වැසියෝ නිවසින් පිටවෙද්දී මුහුණු ආවරණ පලඳිති. විෂබීජවලින් පමණක් නොව, වායු දූෂණය නිසා වාතයේ ඇති විෂ අංශුවලින් ද බේරීමටය. එපමණක් නොව, ‘සර්ස්’ වයිරස වසංගතය නිසාත් විටින් විට හිස ඔසවන එච්1එන්1 වසංගත නිසාත් මුහුණු ආවරණ පැලැඳීමට චීන, හොංකොං සහ තායිවාන වැසියෝ හුරු වී සිටිති. ‘සර්ස්’ ද ‘කොවිඞ් 19’ මෙන්ම කොරෝනා වයිරස පවුලට අයත් වයිරසයකි. 2003 වසංගතයක් වූ ‘සර්ස්’ ආරම්භ වූයේ ද චීනයෙනි.

‘කොවිඞ් 19’ වසංගතය පාලනය කිරීම සහ ව්‍යාප්තවීම වැලැක්වීමේ අරමුණ ඇතිව පළමුවෙන් මුහුණු ආවරණ පැලඳීම අනිවාර්ය කළ රට වන්නේ ලතින් ඇමෙරිකාවට අයත් වෙනිසියුලාවය.
ඉන්පසු පිළිවෙළින් මුහුණු ආවරණ අනිවාර්ය වූ රටවල් වන්නේ වියට්නාමය, චෙක් ජනරජය, ස්ලොවේකියාව, බොස්නියාව සහ හර්සෙගොවීනියාව, කොලොම්බියාව, එක්සත් අරාබි එමිරේට්ස් රාජ්‍යය, කටාරය, කුවේට්ය, කියුබාව, එක්වදෝරය, ඕස්ටි්‍රයාව, මොරොක්කෝව, තුර්කිය, එල් සැල්වදෝරය, චිලී රාජ්‍යය, කැමරූන්, ඇන්ගෝලාව, බෙනින්, බුර්කිනා ෆාසෝ, ගිනියාව, ඉතියෝපියාව, ගැබොන්, ගානාව, කෙන්යාව, ලයිබීරියාව, රුවන්ඩාව, සියෙරා ලියොන්, සැම්බියාව, ඊශ්‍රායලය, ආජන්ටිනාව, පෝලන්තය, ලුක්සෙන්බර්ග්, ජැමෙයිකාව, ජර්මනිය, බහරේනය, හොන්ඩුරාස්, උගන්ඩාව සහ ප්‍රංශයයි.

‘කොවිඞ් 19’ හේතුවෙන් දරුණු ලෙස බැට කෑ රටක් වන්නේ ඉතාලියයි. ඉතාලියේ තවමත් මුහුණු ආවරණ අනිවාර්ය කර නැත. එසේ වුවත් සෞඛ්‍ය අංශ උපදෙස් දී ඇත්තේ නිවසින් බැහැරව යද්දී මුහුණු ආවරණ පැලඳීම සුදුසු බවත්, සමාජ දුරස්ථභාවය ආරක්ෂා කරගත යුතු බවත්ය.

මැඞ්රිඞ්හිදීය (රොයිටර්)


RECOMMEND POSTS