මහ මඟදී මැති ඇමැතිවරුන්ට විශේෂ සැලකිලි නෑ



ඉන්දියාවේ මැති ඇමැතිවරුන් ඇතුළු රජයේ උසස් නිලධාරීන්ගේ නිල රථ සඳහා භාවිත කරන රතු පැහැති ආලෝක පහන් සහ ‘සයිරන්’ නළා භාවිතය තහනම් කිරීමට නව නීතියක් ගෙනෙන බව ඉන්දීය රජය නිවේදනය කර ඇත.

“හැම මැති ඇමැති කෙනකුම විශේෂයි. හැම රජයේ නිලධාරියකුම විශේෂයි. හැම ඉන්දියානුවකුම විශේෂයි. ඒ හින්දා දේශපාලනඥයන්ට සහ රජයේ ඉහළ නිලධාරීන්ට පමණක් විශේෂයක් අවශ්‍ය නැහැ.” යැයි අගමැති මෝදි පවසා ඇත.

ඒ අනුව, ඇමැතිවරුන්ගේත් රජයේ උසස් නිලධාරීන්ගේත් වාහන සඳහා භාවිතා කෙරෙන රතු විදුලි සංඥා සහ ‘සයිරන් නළා’ තහනම් කරන බවත් කිසිවකුටවත් විශේෂයක් සිදු නොකෙරෙන බවත් ඉන්දීය රජය වෙනුවෙන් එරට මුදල් ඇමැති අරුන් ජෙට්ලි පවසා කියා සිටී.

ඉන්දියාවේ ප්‍රධාන නගරවල දැඩි වාහන තදබද පවතී. එවැනි අවස්ථාවලදී ඇමැතිවරුන්, ආණ්ඩුකාරවරුන්, විනිසුරුවරුන් ආදිය රතු විදුලි බල්බ දල්වා ගෙන සයිරන් නලා හඬවමින් වාහන තදබදය මඟ හැර යයි. ඇතැම් අවස්ථාවලදී ඒ සඳහා වැරදි මංතීරු පවා භාවිතා කරයි.

මෙම නව නීතිය යටතේ රතු පැහැදිලි විදුලි බල්බ සහ සයිරන් නලා භාවිතා කිරීමට හැකි වන්නේ ගිලන් රථ සහ ගිනි නිවන රථ සඳහා පමණි. වාහන තදබදයක් ඇති නම් මැති ඇමැතිවරුන්ට සහ රජයේ උසස් නිලධාරීන් සෙසු රථ වාහන සමඟ රැඳී සිටිය යුතු වෙයි.

අගමැති මෝදිගේ මෙම තීරණය සම්බන්ධයෙන් ඉන්දියානුවන් බොහෝ දෙනාගේ දැඩි ප්‍රසාදය හිමි වී ඇති අතර ඔවුන් සමාජ ජාල ඔස්සේ මෝදිට සුබ පතා ඇතැයි ද ඉන්දීය පුවත් සේවා වාර්තා කරයි.

(එන්.ඩී.ටීවී.)

 


RECOMMEND POSTS