මවු රටේ හිටියා නම් මෙලහකට මා මැරිලා



‘කොවිඩ් 19’ හෙවත් නව කොරෝනා වයිරසය ආසාදනය වී වියට්නාම රෝහලක වියට්නාම වෛද්‍යවරුන්ගේ රැකවරණ යටතේ දින 68 ක් වෙන්ටිලේටරයකට (කෘත්‍රිම ස්වසන යන්ත්‍රය) සම්බන්ධ කර සිට දිවි බේරාගත් ස්කොට්ලන්ත ජාතික ගුවන් නියමු ස්ටෙපන් කැමරන් සුවය ලැබීමෙන් පසු වියට්නාම් වෛද්‍යවරුන් ඇතුළු වියට්නාම රජයට තුති පුද කළේය.

‘මවු රටේ සිටියා නම් හෝ වෙන කුමන රටක හෝ හිටියා නම්, වෛද්‍යවරුන් මාව වෙන්ටිලේටරයට සම්බන්ධ කර තබා ගන්නේ දින 30 ක් පමණයි. ඔවුන් මට මැරෙන්න ඉඩ හරිනවා. ඒත් වියට්නාම් සෞඛ්‍ය බලධාරීන් එසේ කළේ නැහැ.’ යැයි බීබීසී පුවත් නාළිකාවට අදහස් දක්වමින්, 43 හැවිරිදි ස්ටෙපන් කැමරන් පවසා ඇත.

ස්ටෙපන් කැමරන්, වියට්නාම ජාතික ගුවන් සේවයේ ගුවන් නියමුවෙකි. ඔහු අසනීප වූයේත් ‘කොවිඩ් 19’ හෙවත් නව කොරෝනා වයිරසය ආසාදිතයකු ‍යැයි හදුනා ගැනීම සිදුවූයේත් වියට්නාමයේ හෝ චී මින් නුවරදීය.

චී මින් නුවර, කැමරන්ගේ ඥාතීන් කිසිවකු හෝ නොමැති අතර, ඔහු ගැන සොයා බලා ඔහු රෝහල් ගත කළේ ඔහු සේවය කළ ගුවන් සමාගමය. වියට්නාමයෙන් වාර්තා වූ 91 වැනි රෝගියා ලෙස කැමරන් නම් කෙරුණි. හෝ චී මින් රෝහලට ඇතුළත් කළ කැමරන්ගේ තත්ත්වය අසාධ්‍ය බව වෛද්‍යවරු බිය පළ කරන්න වූහ.

මේ වනතුරු බෞද්ධ රටක් වන වියට්නාමයෙන් කිසිදු මරණයක් වාර්තා වී නැති අතර, මිලියන 65 ක ජනගහනයකින් සමන්විත ආසියානු රටක් වන වියට්නාමයේ අයි.සී.යූ ඇඳන් ඇත්තේ ද සීමිත ගණනකි. වියට්නාම් වෛද්‍යවරුන්ගේ ජීවිතය ගැන බිය පළ කරද්දී, වියට්නාම් මාධ්‍ය පමණක් නොව, බ්‍රිතාන්‍ය මාධ්‍ය පවා කැමරන්ගේ සෞඛ්‍ය තත්ත්වය දිනපතා වාර්තා කරන්න විය.

වියට්නාම් වෛද්‍යවරුන් ඉවසීමෙන් සහ මහත් උනන්දුවකින් කැමරන් වෙනුවෙන් කළ හැකි සියලු ප්‍රතිකර්ම සහ අවශ්‍ය පහසුකම් ලබා දුන් අතර, අවසානයේ දින 68 කට පසු වයිරසය පරදා පූර්ණ සුවය ලැබීමට හෙතෙම සමත් විය.

‘මා වියට්නාමයට ආවේ රැකියාව සඳහා. වියට්නාමයේ මට කාත් කවුරුවත් නැහැ. මා කොවිඩ් 19 ආසාදිතයකු වුණේ පසුගිය පෙබරවාරියේ. සෞඛ්‍ය බලධාරීන් මට පසුව දැනුම් දුන්නා මා ආසාදිතයකු වුණේ තැබෑරුමකට ගොඩ වැදුණු නිසයි. එම තැබෑරුම කේන්ද්‍රකොට ගනිමින් වයිරස පොකුරක් වාර්තා වී තිබෙනවා. වියට්නාම් රජයට, මා රැක බලා ගත් වෛද්‍යවරුන්ට මා ණය ගැතියි. ඔවුන්‍ නිසයි අද මා ජිවත් වෙන්නේ’ යැයි ගුවන් නියමු කැමරන් බීබීසී පුවත් නාළිකාව සමඟ අදහස් දක්වමින් පැහැදිලි කර තිබේ.

බීබීසී ඇසුරිනි


RECOMMEND POSTS