බයිඩන්ගෙන් ‘කොවිඩ්’ සහන පැකේජයක්



තවත් ප්‍රමාද නොවී, ‘කොවිඩ් 19’ හෙවත් නව කොරෝනා වයිරස ව්‍යාප්තිය අඩපණ කිරීමට කඩිනමින් පියවර ගත යුතු යැයි ඇමෙරිකාවේ මීළඟ ජනාධිපති ලෙස දිවුරුම් දීමට නියමිත ජෝ බයිඩන් ඇමෙරිකානුවන් අමතමින් අවධාරණය කරයි.

චීනයෙන් ආරම්භ වුණු ‘කොවිඩ් 19’ වයිරසයේ කේන්ද්‍රස්ථානය වී ඇත්තේ ඇමෙරිකා එක්සත් ජනපදයයි.

අද වනවිට ඇමෙරිකාවේ ‘කොවිඩ් 19’ ආසාදිතයන් ගණන 23,848,410 කි. මරණ වාර්තා වන්නේ 3,97,999 ක් ලෙසය.

ජෝ බයිඩන් සජීවීව ඇමෙරිකන් පුවත් නාළිකා ඔස්සේ ජාතිය අමතමින් කියා සිටියේ, ‘කොවිඩ් 19’ වසංගතය නිසා අඩපණ වුණු ඇමෙරිකන් ආර්ථිකය පණ ගැන්වීමට තමන් දැවැන්ත සහන පැකේජයක් හඳුන්වා දීමට කඩිනමින් පියවර ගන්නා බවය.

එම සහන පැකේජය ඇමෙරිකන් ඩොලර් ට්‍රිලියන 1.9 ක් වන අතර, එයින් ඇමෙරිකන් ඩොලර් ට්‍රිලියනයක් ගෘහස්ථ ඇමෙරිකානුවන් වෙනුවෙන් වෙන් වෙයි.

සෑම ඇමෙරිකානුවකුට ම ඇමෙරිකන් ඩොලර් 1,400 ක දීමනාවක් හිමිවෙයි.

කොරෝනා එන්නත්කරණයට ඩොලර් බිලියන 415 ක් වෙන් කර ඇතැයි ද ජෝ බයිඩන් පැහැදිලි කර තිබේ.

කුඩා ව්‍යාපාර සඳහා වෙන් කර ඇති මුදල ඇමෙරිකන් ඩොලර් බිලියන 440 කි.

ඇමෙරිකාවේ 46 වැනි ජනාධිපතිවරයා ලෙස ජෝ බයිඩන් දිවුරුම් දෙනු ඇත්තේ ලබන 20 වැනිදාය.

දිවුරුම් දීමෙන් පසු මෙම සහන පැකේජය කොංග්‍රසයට ඉදිරිපත් වනු ඇති අතර, ඊට කඩිනමින් අනුමැතිය ලබා ගැනීමට බයිඩන් අපේක්ෂා කරයි.

වොෂින්ටනයේදීය (රොයිටර්)


RECOMMEND POSTS