බද්ධ කළ ගර්භාෂයෙන් සාර්ථක දරු උපතක්



බද්ධ කළ ගර්භාෂයකින් සාර්ථක දරු උපතක් සිදුවුණු බව බ්‍රසීලයේ සාඕ පාවුලෝ නුවරින් වාර්තා වේ.

ගර්භාෂ බද්ධ කිරීම ඇමෙරිකාවේ, චෙක් ජනරජයේ පමණක් නොව තුර්කියේ ද සිදුවෙයි. කෙසේ නමුත් එසේ බද්ධ කළ ගර්භාෂයකින් සාර්ථකව, නිරෝගී දරු උපතක් සිදුවුණු පළමු අවස්ථාව මෙය යැයි බ්‍රසීල වෛද්‍යවරු පෙන්වා දෙති.

බද්ධ කරන ලද ගර්භාෂයෙන් උපත ලැබුවේ බිලිඳියකි. උපත සිදුවන අවස්ථාවේදී, ඊට සම්බන්ධ වුණු ප්‍රසව හා නාරි වෛද්‍යවරුන්, හෙදියන් ඇතුළු වෛද්‍ය කණ්ඩායම එම බිලිඳිය ද සමඟ සමරු ඡායාරූපයකට පෙනී සිටි අතර, එම ඡායාරූපය මේ වනවිට විදෙස් පුවත් සේවා ඔස්සේ ප්‍රසිද්ධියට පත් වී ඇත.

බිලිදිය ප්‍රසූත කිරීම සිසේරියන් සැත්කමක් මගින් සිදු කෙරුණු බවත්, එය සිදු කළේ බිලිඳියට සති 35 ක් සහ දින 3 ක් ගත වෙද්දී බවත් වෛද්‍යවරු පැහැදිලි කරති. බිලිඳියගේ බර ග්‍රෑම් 2,250 ක් යැයි ද පැවසෙයි.

බිලිඳිය බිහි කළ 32 හැවිරිදි මව ගර්භාෂීය සංකූලතාවලට ලක් වූ සිටි අයෙකි. ඇයගේ ගර්භාෂය ඉවත් කර වෙනත් ගර්භාෂයක් බද්ධ කිරීම සිදුවූයේ 2016 වසරේ සැප්තැම්බරයේදීය. බද්ධ කරනු ලැබුවේ මියගිය කාන්තාවකගේ ගර්භාෂයකි.

ගර්භාෂයක් බද්ධ කිරීම පමණක් නොව, එමගින් දරු උපතක් සිදුවීම ඉතා සංකීර්ණ ක්‍රියාවලියක් බවත්, එය අභියෝගයක් බවත් එය ජයග්‍රහණය කිරීමට තමන්ට හැකි වුණු බවත් බ්‍රසීල ප්‍රසව හා නාරි වෛද්‍යවරු වැඩි දුරටත් කියා සිටිති. 

2016 වසරේ දී ගර්භාෂ බද්ධ කිරීමේ සැත්කමට දායක වූ වෛද්‍ය කණ්ඩායමේ එක් වෛද්‍යවරයකු වන්නේ වෛද්‍ය ඩැනී එජ්සෙන්බර්ග්ය. ඔහු මාධ්‍ය හමුවේ පවසා ඇත්තේ ඉදිරියට දරුවන් නොමැති කාන්තාවන්ට ගර්භාෂ බද්ධ කිරීමේ ක්‍රමය හරහා දරු සුරතල් බැලීමට හැකිවනු ඇති බවය.

(රොයිටර්ස්)


RECOMMEND POSTS