පෘථිවියේ ඇති පැරැණිතම ද්‍රව්‍ය හමුවෙලා



පෘථිවියේ ඇති පැරැණිම ද්‍රව්‍ය, පෘථිවියට වැටුණු උල්කා කැබැල්ලකින් සොයා ගැනීමට හැකිවුණු බව ඇමෙරිකා සහ ස්විට්සර්ලන්ත විද්‍යාඥයෝ පවසති.

පෘථිවියේ ඇති පැරැණිතම ද්‍රව්‍ය ලෙස විද්‍යාඥයන් පෙන්වා දෙන්නේ දූවිලි අංශු ය. මෙම දූවිලි අංශු උල්කාවක් සමඟ පෘථිවියට පැමිණ ඇත. මෙම උල්කාව 1969 වසරේ ඕස්ටේ්‍රලියාවට පතිත විය. එය හැඳින්වෙන්නේ ‘මුර්චිසොන්’ උල්කාපාතය යනුවෙනි.

‘මුර්චිසොන්’ උල්කාපාතයේ එක් කැබැල්ලක් ඇමෙරිකාවේ චිකාගෝ කෞතුකාගාරයේ ප්‍රදර්ශනයට තබා තිබේ. එහි සාම්පල 40 ක් ඇමෙරිකා සහ ස්විට්සර්ලන්ත විද්‍යාඥයන් විසින් පරීක්ෂාවට ලක් කරනු ලැබුණි. ‘තරු දූවිලි’ හමුවූයේත් ඒවායේ වයස නිර්ණය කර ගැනුනේත් ඒ අනුවය. විද්‍යාඥයන් පවසන අන්දමට එම තරු දූවිලි වසර බිලියන 7.5 ක් පැරැණිය.

විද්‍යාඥයන් පැහැදිලි කර ඇත්තේ, මෙම තරු දූවිලි උල්කාවේ දැවටෙද්දී, අප සූර්යයා, පෘථිවිය ඇතුළු සෞර ග්‍රහ මණ්ඩලය නිර්මාණය වී නොතිබුණු බවය. අප සෞර ග්‍රහ මණ්ඩලය නිර්මාණය වීමට පෙර අභ්‍යවකාශයේ පැවැතියේ මොනවාදැයි යන්න සම්බන්ධයෙන් යම් අදහසක් ලබා ගැනීමට මෙම තරු දූවිලි ඉවහල් වනු ඇති බව ඇමෙරිකන් ජාතික විද්‍යා ඇකඩමියේ විද්‍යාඥයන් ද පෙන්වා දී ඇත.

චිකාගෝහිදීය (ඒ.එෆ්.පී.)


RECOMMEND POSTS