පිළිතුරු දෙන්න කටවුට් රුවක්



මාධ්‍යවේදීන්ගේ දළදඬු ප්‍රශ්න කිරීම්වලින් බේරීමට තායිලන්ත අගමැති පර්යාත් චෑන් ඔචා නිර්මාණශීලී උප්පරවැට්ටියක් යොදා ගත් පුවතක් එරට මාධ්‍ය වාර්තා කරයි.

අගමැතිවරයා සිය කාර්යාලයේ මාධ්‍ය හමුවක් සංවිධානය කර තිබුණි. අගමැති පර්යාත් චෑන් ඔචාට අවශ්‍ය වී තිබුණේ ප්‍රකාශ කිහිපයක් නිකුත් කිරීමට පමණි.

මාධ්‍යවේදීන් රටේ පවතින දේශපාලන තත්ත්වය ගැනත්, වෙනත් කරුණු කාරණා ගැනත් දිගින් දිගටම ප්‍රශ්න අසන බව අගමැතිවරයා දැන සිටියේය. ඒ අනුව, ප්‍රශ්න මඟ හැර යෑමට ඔහු ක්‍රමයක් සැලැසුම් කර තිබුණි.

ප්‍රකාශ නිකුත් කිරීමෙන් පසු, බලාපොරොත්තු වූ අන්දමින්, මාධ්‍යවේදීහු දිගට හරහට ප්‍රශ්න අසන්න වූහ. ‘රටේ දේශපාලනික කටයුතු සම්බන්ධයෙන් ප්‍රශ්න අහන්න තියෙනවා නම් මෙන්න මේ හාදයාගෙන් අහන්න’ යැයි අගමැතිවරයා පැවැසීය.

එම අවස්ථාවේදී අගමැතිවරයාගේ සැබෑ ප්‍රමාණයේ කටවුට් රුවක් ඔහුගේ ආධාරකරුවෙක් එතැනට ගෙන එන ලදී. කටවුට් රුව මයික්‍රෆෝනය අසලින් තබා අගමැතිවරයා එතැනින් යන්න ගියේය.

තායිලන්තයේ පවතින්නේ හමුදා ජුන්ටාවකි. අගමැති පර්යාත් චෑන් ඔචා ද හමුදා ජනරාල්වරයෙකි. කිසිදු ලේ වැගිරිමකින් තොරව හමුදාව තායිලන්තයේ බලය අල්ලා ගත්තේ 2014 වසරේදී රට දේශපාලනික වශයෙන් අර්බුද රැසකට මුහුණ දී තිබියදීය.

අගමැති පර්යාත් චෑන් ඔචා, මාධ්‍යවේදීන් මඟහැර ගිය පළමු අවස්ථාව මෙය නොවේ යැයි තායිලන්ත මාධ්‍ය වාර්තා කර තිබේ.

(ඬේලිමේල්)

 


RECOMMEND POSTS