පැරිස් ප්‍රහාරය අයි.එස්. ත්‍රස්තයෝ බාර ගනිති



ප්‍රංශයේ පැරිස් නුවර ෂොම්ස්දලීසේ ස්මාරකය අසල පොලිස් නිලධාරීන් රැගත් බස් රියකට ඊයේ (20) රෑ වෙඩි ප්‍රහාරයක් එල්ලවීමෙන් එක් පොලිස් නිලධාරියෙක් ජීවිතක්ෂයට පත්විය. තවත් දෙදෙනෙක් බරපතළ තුවාල ලැබූහ.

වෙඩි තැබීම කළ පුද්ගලයා 39 හැවිරිදි කරීම් සී නමැති මුස්ලිම් සම්භවයක් ඇති ප්‍රංශ ජාතිකයකු යැයි පසුව හඳුනා ගැණින. ෂොම්ස්දලීසේ ස්මාරකය ඉදිරියෙන් ධාවනය වෙමින් තිබූ පොලිස් බස් රථය රතු එළියට නැවැතූ අවස්ථාවේදී, එය ලුහුබැඳ මෝටර් රථයකින් පැමිණි කරීම් සී නැවැත්තූ බස් රිය තුළ සිටි පොලිස් නිලධාරීන්ට වෙඩි වරුසාවක් එල්ල කර ඇත.

කරීම් සී පොලිස් නිලධාරීන්ට වෙඩි තබන අයුරු දැක්වෙන සී.සී.ටීවී ආරක්ෂක කැමරා දසුන් ද මේ වනවිට ප්‍රසිද්ධියට පත් කර ඇතැයි වාර්තා වේ.

කරීම් සී 2001 වසරේ දී පොලිස් අත්අඩංගුවට පත් වී ඇත. ඒ, පොලිස් නිලධාරීන් පිරිසක් ඝාතනය කිරීමට තැත් කළ නිසාය. කෙසේ නමුත් පසුව එම චෝදනා සම්බන්ධයෙන් ඔහු නිදහස ලබා ඇත.

වෙඩික්කරුගේ සහායට පැමිණි තවත් පුද්ගලයකු පොලිස් වෙඩි ප්‍රහාරය හමුවේ පලා ගිය අතර, ඔහු සොයා සෝදිසි මෙහෙයුම් වහා ආරම්භ විය. ප්‍රහාරය සිදු කළේ තම සාමාජිකයකු යැයි අයි.එස්.අයි.එස්. හෙවත් ඉස්ලාමික් ස්ටේට් ත්‍රස්ත සංවිධානය පවසා ඇත. ඒ, එම සංවිධානයට හිතවත් වෙබ් අඩවි හරහාය.

ප්‍රංශ ජනපති ෆ්‍රන්සුවා ඕලන්ද් විශේෂ මාධ්‍ය හමුවක් පවත්වමින් කියා සිටියේ එය ත්‍රස්ත ප්‍රහාරයක් බවය.

(රොයිටර්/ඒ.එෆ්.පී.)


RECOMMEND POSTS