ප්‍රියංකාගේ ජගත් තානාපති ධුරය අහෝසි කරන්න



බොලිවුඞ් නිළි ප්‍රියංකා චොප්රාට එක්සත් ජාතීන්ගේ සංවිධානය ලබා දී ඇති හොඳහිත තානාපති ධුරය ඉවත් කරන්නැයි ඉල්ලීමක් කරමින් පාකිස්තාන රජය එක්සත් ජාතීන්ගේ සංවිධානයට නිල වශයෙන් පැමිණිල්ලක් කර තිබේ.

ප්‍රියංකාට හොඳහිත තානාපති ධුරයක් පිරිනමා ඇත්තේ යුනිසෙෆ් සංවිධානයයි. ඒ, 2010 සහ 2016 යන වසරවලදීය.

ඉන්දු කාශ්මීර අර්බුදය සම්බන්ධයෙන්, හින්දු ජාතිකවාදී අදහස් ප්‍රචලිත කරමින්, බොලිවුඞ් නිළි ප්‍රියංකා චොප්රා, න්‍යෂ්ටික බලැති ඉන්දියාවත් පාකිස්තානයත් අතර යුද්ධයක් ඇවිළීමට ඉන්දීය වැසියන් උසිගන්වනවා යැයි චෝදනා කරමින්, පාකිස්තානය මෙම පැමිණිල්ල ඉදිරිපත් කර ඇත.

37 හැවිරිදි ප්‍රියංකා චොප්රා ලෝක රූ රැජින ලෙස කිරුළු පැළඳියේ 2000 වසරේදීය. ඇය ඉන්පසු බොලිවුඩයත් පසුව හොලිවුඩයත් ජය ගත්තාය. පසුගිය වසරේ ඇය ඇමෙරිකන් නළුවකු මෙන්ම ගීත රචකයකු ද වන 26 හැවිරිදි නික් ජෝනාස් සමඟ විවාහ වූවාය.

ඉස්ලාමාබාද්හිදීය (රොයිටර්ස්)


RECOMMEND POSTS