නිවෙස්වලට වී සිටින්න



නව කොරෝනා වයිරසයේ ව්‍යාප්තිය පාලනය කිරීම සඳහා පැනවූ සීමාවලට ගෞරව කර මිනිසුන් කොරෝනා වයිරසයෙන් මිය යෑම නැවැත්වීම සඳහා නිවෙස්වලට වී සිටින්නැයි බ්‍රිතාන්‍ය නායකයෝ අද (24) එරට වැසියන්ගෙන් ඉල්ලා සිටියහ.

‘‘ඔබ ගෙදර හිටියේ නැතිනම් ඔබ ගොඩාක් ආදරය කරන මිනිස්සු මැරෙන්න පුළුවන්’’ යැයි බ්‍රිතාන්‍ය ආණ්ඩුවේ ජ්‍යෙෂ්ඨ අමාත්‍යවරයකු වන මයිකල් ගෝව් පැවැසීය.

රූපවාහිනිය ඔස්සේ විකාශය වූ සම්මුඛ සාකච්ඡාවකට එක්වෙමින් ඔහු ඒ බව සඳහන් කළේය.

යුරෝපයේ අනෙකුත් රටවල් ඔවුන්ගේ රටවල් වසා දැමීමට එනම් රටේ කටයුතු සීමා කිරීමේ ‘ලොක්ඩවුන්’ ක්‍රියාමාර්ගය අනුගමනය කළ අතර බ්‍රිතාත්‍ය අග්‍රාමාත්‍යවරයාට ද එම ක්‍රියාමාර්ග ගැනීමට දැඩි පීඩනයක් එල්ල විය. ඒ අනුව අත්‍යවශ්‍ය සේවා හැර අනෙකුත් සියලු කටයුතු නවතා දමන බවත් ජනතාවට නිවසට වී සිටින්නැයි නියෝග කරන බවත් බ්‍රිතාන්‍ය අග්‍රාමාත්‍ය බොරිස් ජොන්සන් සඳුඳා (23) නියෝග කළේය. යුරෝපයේ රටවල් සියල්ලම පාහේ මේ වනවිට එම ක්‍රියාමාර්ග අනුගමනය කර ඇත.

කොරෝනා වයිරසය හේතුවෙන් ඊයේ පස්වරුව වනවිට බ්‍රිතාන්‍යයේ මියගිය ගණන 335 දක්වා ඉහළ ගියේය.

මේ අතර හදිසි තත්ත්වයක් ප්‍රකාශයට පත් කිරීම සම්බන්ධයෙන් ද බ්‍රිතාන්‍ය පාලකයන්ගේ අවධානය යොමු වී ඇතැයි ද වාර්තා විය.

ඒ.එෆ්.පී.


RECOMMEND POSTS