ධවල මන්දිරය ජලයෙන් යටවෙයි



ඇමෙරිකාවේ වොෂින්ටන් අගනුවරට හිටිහැටියේ මහ වැසි ඇද හැලුණු අතර, ජනාධිපති මන්දිරය හෙවත් ‘ධවල මන්දිරය’ පවා ජලයෙන් යටවිය.

ධවල මන්දිරයේ බිම් මහල ජලයෙන් යටවෙද්දී, ධවල මන්දිරයේ කාර්ය මණ්ලය සාමාජිකයන් ආරක්ෂිත ස්ථාන වෙත යොමු කිරීමට ආරක්ෂක අංශ පියවර ගත්තේය. එම අවස්ථාවේදී ජනපති ඩොනල්ඞ් ට්‍රම්ප් හෝ ආර්යා මෙලානියා ට්‍රම්ප් හෝ ධවල මන්දිරයේ සිටි බව වාර්තා වී නැත.

ධවල මන්දිරය පමණක් නොව අගනුවර පිහිටි ඇමෙරිකාවේ රාජ්‍ය ආයතන රැසක් ද ජලයෙන් යටවිය. ජාතික ලේඛන ආරක්ෂක දෙපාර්තමේන්තුව ද ජලයෙන් යටවුණු නමුත් එහි සුරැකිව තබා ඇති වටිනා ලියකියවිලිවලට කිසිදු අනතුරක් සිදු නොවුණු බව පැවැසෙයි.

ජල ගැනීම් හේතුවෙන් වොෂින්ටන් අගනුවර විදුලි බල සැපැයුම අඩපණ විය. උමං දුම්රිය ගමන් බිමන් නැවැතිණි. වර්ෂාපතනයේ වැඩිවීමක් අපේක්ෂා කළ හැකි යැයි ඇමෙරිකන් කාලගුණ විද්‍යාඥයන් කල්තියා පවසා තිබුණ ද මෙතරම් දරුණු තත්ත්වයක් පිළිබඳ කල්තියා අනාවැකි කීමට නොහැකි විය.

වොෂින්ටන් අගනුවර වේලාවෙන් උදෑසන 9 සිට 10 දක්වා කාලයේ මිලිමීටර් 84 ක වර්ෂාපතනයක් ඇද හැලුණි. මීට පෙර වොෂින්ටන් අගනුවරට පැයක් ඇතුළත ඇද හැලුණු වැඩිම වර්ෂාපතනය මිලි මීටර් 56 කි. සාමාන්‍යයෙන් ජූලි මාසයේ වොෂින්ටනයට සැලකිය යුතු වර්ෂාපතනයක් ඇද හැලෙයි. මෙම ජූලි මාසයේ වැඩිම වර්ෂාපතනයක් වාර්තා වූයේ 1871 වසරෙන් පසුව යැයි ඇමෙරිකන් මාධ්‍ය වාර්තා පේනවා දෙයි.
වොෂින්ටන් අගනුවර අයත් වන්නේ කොලොම්බියානු දිස්ත්‍රික්කයටය. වොෂින්ටන් අගනුවර පළාත් රැසක් ජලයෙන් යටවිය. ආලින්ටන් සහ වර්ජිනියා පළාත්වලට පැයක් තුළ මිලිමීටර් 127 ක වර්ෂාපතනයක් ලැබී ඇත.

සැඬ රළ පහර සමඟ හටගත් හදිසි ජල ගැලීම් හේතුවෙන් මාර්ග යටවීමෙන් වාහන මාර්ගවල සිරවිණි. මෝටර් රථවල සිරවුණු පිරිස් මෝටර් රථවල වහලටවලට නැගී සැඬ ජල පහරින් බේරුණු බවත් සහන සේවකයන් වහා මැදිහත් වී ඔවුන් බේරා ගත් බවත්, හෙලිකොප්ටර් යානා පවා එම මෙහෙයුම් සඳහා යොදා ගැණුනු බවත් ඇමෙරිකන් පුවත් සේවා වාර්තා කරයි.

වොෂින්ටනයේදීය (ඒ.එෆ්.පී.)


RECOMMEND POSTS