දේශපාලනයට ඇඟිලි ගැසීමෙන් වළකින්න



දේශපාලනික කටයුතුවලට ඇඟිලි ගැසීමෙන් වළකින්නැයි පාකිස්තාන ශ්‍රේෂ්ඨාධිකරණය පෙරේදා (6) හමුදාවට නියෝග කළේය.

ශ්‍රේෂ්ඨාධිකරණය මෙම නියෝගය නිකුත් කළේ 2017 වසරේ නොවැම්බර් 8 වැනිදා ෆයිසාබාද් නුවර වීදි හරස් කරමින් පැවැත්වූ තරීක් ඊ ලබයික් නමැති පාකිස්තාන අන්තවාදී ඉස්ලාමීය කල්ලියේ විරෝධතාව සම්බන්ධයෙන් පැවැත් වූ නඩු විභාගයේදීය.

ඉන්දියාව නිදහස ලබා 1947 වසරේ දී, පාකිස්තානය බිහිවීමෙන් පසු, අවස්ථා ගණනාවකදී, පාකිස්තාන හමුදාව කුමන්ත්‍රණ කරමින් එරට බලය අල්ලා ගැනීමට කටයුතු කළේය. ඒ, පාකිස්තාන හමුදාවට ඇති විශේෂ බලතල අනුවය. ලොව වඩාත් බලවත් හමුදා අතර පාකිස්තාන හමුදාව ඉදිරියෙන් සිටී.

එදා සිට මේ දක්වා පාකිස්තානයේ වැදගත් දේශපාලන තීන්දු සහ තීරණ ගැනීම් පසුපස පාකිස්තාන හමුදාව සිටින බව ප්‍රසිද්ධ රහසක් බව පාකිස්තාන පුවත් සේවා පෙන්වා දෙයි. වර්තමාන පාකිස්තාන අගමැති ඉම්රාන් ඛාන්ගේ මැතිවරණ කටයුතුවලදී පවා හමුදාවේ සහාය නොඅඩුව ලැබුණු බව පැවැසෙයි.

මීට අමතරව, පාකිස්තානයේ අයි.එස්.අයි. බුද්ධි අංශය නීතියට පිටින් ක්‍රියාත්මක වීම වැළැක්වීමට ද ශ්‍රේෂ්ඨාධිකරණය නියෝගයක් ලබා දුන්නේය. වෛරය පතුරුවන, ත්‍රස්තවාදයට අනුග්‍රහය දක්වන සහ අන්තවාදයට උඩගෙඩි දෙන තරීක් ඊ ලබයික් වැනි සංවිධාන සහ කල්ලිවලට එරෙහිව වහා පියවර ගන්නැයි ශ්‍රේෂ්ඨාධිකරණය පාකිස්තාන රජයට නියෝග කළේය.

 (එන්.ඩී.ටීවී.)


RECOMMEND POSTS