දෙවැනි හමුවට චීනයේ සහාය



ඇමෙරිකා ජනාධිපති ඩොනල්ඞ් ට්‍රම්ප් සහ උතුරු කොරියා නායක කිම් ජොන් අතර පැවැත්වීමට නියමිත දෙවැනි හමුවට චීන ජනාධිපති ෂී ජින්පින්ගේ සහාය හිමිවනු ඇතැයි පැවැසෙයි.

කොරියාව න්‍යෂ්ටික අවිවලින් තොර කලාපයක් බවට පත් කිරීමට උතුරු කොරියා නායක කිම් ජොන් උන් ගෙන ඇති තීරණය සහ කිම් ජොන් උන් හමුවී, සාකච්ඡා මාර්ගයෙන් පවතින අර්බුද විසඳා ගැනීමට ට්‍රම්ප් පියවර ගැනීම ප්‍රසංශනීය යැයි ද චීන ජනාධිපති ෂී ජින් පින් වැඩි දුරටත් පවසා ඇත.

කිම් ජොන් උන් සහ ට්‍රම්ප් අතර හමුව ඉදිරි මාස කිහිපය ඇතුළත සිදුවනු ඇති බවත්, හමුව පැවැත්වීමට සුදුසු ස්ථානයක් දෙපාර්ශව විසින් සොයා බලමින් පවතින බවත් වාර්තා වේ.

උතුරු කොරියා නායක කිම් ජොන් උන් මේ වනවිට සිටින්නේ චීනයේ බීජිං අගනුවර සංචාරයක නියැලෙමිනි. ඒ බිරිද රී සොල් සහ විශේෂ නියෝජිත පිරිසක් ද සමඟය.

බීජීං පැමිණි උතුරු කොරියා නායකයා, බිරිඳ ඇතුළු නියෝජිත පිරිස උණුසුම් ලෙස පිළිගැනීමට චීන ජනාධිපති ෂී ජින්පින් සහ බිරිඳ පෙන්ග් ලියුවාන් කටයුතු කළේය.

චීන ජනාධිපතිගේ ඇරැයුමකට අනුව, උතුරු කොරියා නායක කිම් ජොන් උන් ඇතුළු පිරිස චීනයට පැමිණියේ දේශසීමා හරහා විශේෂ දුම්රියකිනි. මෙය උතුරු කොරියා නායක කිම් ජොන් උන්ගේ සිවුවැනි චීන සංචාරයයි.

උතුරු කොරියාව සහ ඇමෙරිකාව අතර යහපත් සබඳතා පැවැත්වීම ආරම්භ වූයේ දකුණු කොරියා ජනාධිපති මූන් ජේ ඉන්ගේ මැදිහත් වීමෙනි. ඇමෙරිකා ජනාධිපති ඩොනල්ඞ් ට්‍රම්ප් සහ උතුරු කොරියා නායක කිම් ජොන් උන් අතර දෙවැනි හමුව ඉදිරියේ දී නිසැක වශයෙන්ම පැවැත්වෙනු ඇති බවත් දකුණු කොරියා ජනාධිපති මූන් ජේ ඉන් පවසා ඇත.

(ඒ.එෆ්.පී.)


RECOMMEND POSTS