දෙවැනි කොරෝනා එන්නතට අනුමැතිය



රුසියනක් විද්‍යාඥයන් විසින් නිපදවනු ලැබූ කොරෝනා වයිරසය මර්දනය කළ හැකි දෙවැනි එන්නතට රුසියන් රජයේ අනුමැතිය හිමිවී තිබේ.

ඒ අනුව, ලොව පළමුව සහ දෙවැනුව ලියාපදිංචි කළ කොවිඩ් 19 හෙවත් නව කොරෝනා වයිරසය වළක්වන එන්නත් ඇත්තේ රුසියාව සතුවය.

රුසියන් විද්‍යාඥයන් වැඩිදුරටත් පවසා ඇත්තේ තෙවැනි කොරෝනා මර්දන එන්නතක් ද නිපදවමින් පවතින බවත්, එය දෙසැම්බරයේ දී එළිදැක්වීමට හැකිවනු ඇති බවත්ය.

රුසියාව නිපදවූ පළමු කොරෝනා මර්දන එන්නත වන්නේ ස්පුට්නික් 5 ය. මෙම එන්නත ස්පුට්නික් යනුවෙන් නම් කර ඇත්තේ ලොව පළමු චන්ද්‍රිකාව සිහිගන්වමිනි. ලොව පළමුවෙන් චන්ද්‍රිකාවක් පෘථිවි කක්ෂයේ රැදවූයේ සෝවියට් සමූහාණ්ඩුවය.

ස්පුට්නික් 5 එන්නත රුසියානුවන්ට ලබා දීම ඇරැඹුණේ එහි අවසන් සායනික අත්හදා බැලීම් සිදුවෙද්දීය. බටහිර රටවල් චෝදනා නගන්න වූයේ රුසියන් රජය එරට වැසියන්ගේ ජීවිත අනතුරේ දමමින් සායනික අත්හදා බැලීම් අවසන් නොකළ එන්නතක් ලබා දෙන බවටය. කෙසේ නමුත් ස්පුට්නික් 5 අතුරුආබාධ නොමැති බවට රුසියන් සෞඛ්‍ය අමත්‍යාංශය සහතික වී ඇත.

මේ වනවිට ලොව තවත් රටවල් කීපයක් ස්පුට්නික් 5 සදහා අනුමැතිය දී ඇති අතර එම රටවල තෝරාගත් පිරිස් සදහා එන්නත ලබාදීම සිදුවන බව රුසියන් මාධ්‍ය වාර්තා සදඑන් කර තිබේ. රුසියන් විද්‍යාඥයන්ට කඩිනමින් කොරෝනා මර්දන එන්නතක් නිපදවීමට හැකියාව ලැබී ඇත්තේ ඔවුන් කොරෝනා වයිරස පවුලේ සෙසු වයිරස සම්බන්ධයෙන් දීර්ග වශයෙන් පර්යේෂණ කළ නිසා බව ද පැවැසෙයි.

අලුතින් නිපදවූ සහ ලියාපදිංචි කළ දෙවැනි කොරෝනා එන්නත නිපදවා ඇත්තේ නොවොසිබ්‍රිස්ක් පිහිටි වෛද්‍ය පර්යේෂණ ආයතනයයි. වයිරසය නම් කරනු ලැබ ඇත්තේ එපිවැක්කොරෝනා යන නමිනි.

වයිරසයේ ආරම්භය සනිටුහන් වූයේ චීනයේ හුබෙයි පළාතේ වූහාන් නගරයෙනි. චීන විද්‍යාඥයන් ද එරට රජයේත් අනුග්‍රහය යටතේ එන්නතක්  නිපදවා ඇති අතර, එය ද අවසන් සායනික අත්හදා බැලීම් සිදු කරද්දී, චීන වැසියන්ට ලබා දීම ආරම්භ කර තිබේ.

ඊට අමතරව, ඇමෙරිකාවේ ෆයිසර්, මොඩර්නා, ජර්මනියේ බියෝටෙක්, එක්සත් රාජධානියේ ඇස්ට්‍රා සෙන්කා සහ ඔක්ස්ෆර්ඩ් විශ්ව විද්‍යාල ද සාර්ථක එන්නත් නිපදවීමේ අවසන් අදියරේ පසුවන බව පැවැසෙයි. මේ එන්නත් ලබා දීම සිදු කරනු ඇත්තේ සියලු සායනික අත්හදා බැලීම් අවසන් කර, එ්වායේ ආරක්ෂාව තහවුරු කිරීමෙන් පසුවය. ලෝක සෞඛ්‍ය සංවිධානයට අනුව, එසේ වනු ඇත්තේ ලබන 2021 වසරේදීය. මේ සියලු එන්නත් නිපදවීම සිදු කරන්නේ කොරෝනා වයිරසය ආසාදනය වීම වැළැක්වීමටය. වයිරසය ආසාදනය වූ අයකුට මෙම එන්නත්වලින් ඵලක් නැතැයි පැවැසෙයි.

මොස්කව්හිදීය (ඒ.එෆ්.පී.)


RECOMMEND POSTS