දෙවරක් හැදුනට බෝ වෙන්නේ නෑ



දෙවැනි වරට ‘කොවිඞ් 19’ හෙවත් කොරෝනා වයිරසය ආසාදනය වන පුද්ගලයන්ගෙන් වයිරස ව්‍යාප්තියක් සිදු නොවන බව දකුණු කොරියානු වසංගත රෝග නිවාරණය සහ පිටුදැකීම පිළිබඳ විද්‍යා ආයතනයේ වෛද්‍ය පර්යේෂකයෝ පවසති.

දකුණු කොරියාවේ ‘කොවිඞ් 19’ වයිරසය ආසාදනය වී පූර්ණ සුවය ලබා නිවෙස්වලට ගිය 285 දෙනකු යළි වයිරසය ආසාදනය විය. මෙම 285 දෙනා යළිත් හුදෙකලා කරමින් සම්බන්ධයෙන් කොරියානු වසංගත රෝග නිවාරණය සහ පිටුදැකීම පිළිබඳ විද්‍යා ආයතනයේ වෛද්‍ය පර්යේෂකයෝ වෙනම පරීක්ෂණ පැවැත් වූහ.

එහිදී තහවුරු වී ඇත්තේ දෙවැනි වරට ‘කොවිඞ් 19’ ආසාදනය වුවහොත් එම තැනැත්තාගෙන් වයිරසය තවත් කෙනකුට ආසාදනය නොවන බවය. තම පර්යේෂණ වාර්තා ලෝක සෞඛ්‍ය සංවිධානයට යොමු කළ බව ද කොරියානු විද්‍යාඥයෝ පෙන්වා දෙති.

‘කොවිඞ් 19’ වයිරසය ආසාදනය වීමේදී සිරුරේ ප්‍රතිශක්තියක් ඇති වෙනවා. ඒත් යළි රෝගයට ගොදුරු වීම වැළැක්වීමට එම ප්‍රතිශක්තිය ශක්තිමත් වෙන්නේ නැහැ. හැබැයි දෙවැනිවරට කොරෝනා ආසාදනය වුවහොත් එම තැනැත්තාගෙන් වයිරසය පැතිරීමක් සිදුවෙන්නේ නැහැ. අප සොයා ගත්තේ එයයි’ යැයි දකුණු කොරියානු වෛද්‍ය පර්යේෂකයෝ කියති.

මෙම නව සොයා ගැනීමත් සමඟ වයිරසය ආසාදනය වී සුවය ලැබූවන්ගේ ප්‍රතිශක්තිය යොදා ගනිමින් වයිරසයට එරෙහි එන්නතක් හෝ බෙහෙතක් හෝ නිපදවීමට හැකිවනු ඇති බව ද වෛද්‍ය පර්යේෂකයන් පෙන්වා දී තිබේ.

සෝල්හිදීය (රොයිටර්)


RECOMMEND POSTS