දිල්ලි නේරු විශ්ව විද්‍යාලයට මැර ප්‍රහාරයක්



ඉන්දියාවේ නවදිල්ලි අගනුවර ජවහර්ලාල් නේරු විශ්ව විද්‍යාලයට මැර ප්‍රහාරයක් එල්ල වූ බවත් එම ප්‍රහාරයෙන් 23 දෙනකු තුවාල ලබා රෝහල් ගත කෙරුණු බවත් ඉන්දීය මාධ්‍ය වාර්තා කළේය.

විශ්ව විද්‍යාලයට මැර ප්‍රහාරය එල්ල වූයේ 5 රාත්‍රියේ ය. මුහුණු ආවරණය කරගත් පිරිසක්, ගල් සහ මුගුරු අතැතිව නේරු විශ්ව විද්‍යාලයට කඩා වැදී ප්‍රහාරය එල්ල කළේ යැයි පැවැසෙයි.

විශ්ව විද්‍යාල සිසුන් පමණක් නොව, ගුරුවරුන් ද තුවාල ලැබූ බව ඉන්දීය පුවත් සේවා වාර්තා කර තිබේ. නවදිල්ලි රෝහල් ආරංචි මාර්ග සඳහන් කර ඇත්තේ, නේරු විශ්ව විද්‍යාලයේ ගුරුවරුන් 12 දෙනකු රෝහල් ගතව ප්‍රතිකාර ලබමින් සිටින බවය.

පහර දීම කරන්න ඇතැයි චෝදනා එල්ල වී ඇත්තේ ‘අකිල් භාරතීය විද්‍යාර්තී පරිශාද්’ නමැති දක්ෂිණාංශික ශිෂ්‍ය එකමුතුවටය. මෙම ශිෂ්‍ය එකමුතුව ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදිගේ භාරතීය ජනතා පක්ෂයට පක්ෂපාතීය. නේරු විශ්ව විද්‍යාල සිසුහු පසුගිය දිනවල ඉන්දීය රජයේ නව පුරවැසි පනතට විරෝධය පළ කළහ. ඒ ඉන්දීය මධ්‍යම රජයට අභියෝග කරමිණි.

එම විරෝධතා තවමත් පැවැත්වෙයි. විරෝධය හේතුවෙන්, පක්ෂයේ අකිල් භාරතීය විද්‍යාර්තී පරිශාද් ශිෂ්‍ය එකමුතුව, නේරු විශ්ව විද්‍යාලයට කඩා වැදී පහර දුන් බවට චෝදනා එල්ල වී ඇත. එම චෝදනා සම්බන්ධයෙන් පොලිස් පරීක්ෂණ ආරම්භ කර ඇති බවත් ප්‍රහාරයට පැමිණි පිරිස් සොයා අත්අඩංගුවට ගැනීමට කටයුතු කරන බවත් දිල්ලි පොලිසිය පවසා තිබේ.

නවදිල්ලියේදීය (එන්.ඩී.ටීවී.)


RECOMMEND POSTS