දිල්ලියේ බලය යළිත් ‘පොදු මිනිසාට’



ඉන්දියාවේ නවදිල්ලි අගනුවර අයත් දිල්ලි ප්‍රාන්ත සභා මැතිවරණය ජයග්‍රහණය කරමින් දිගටම බලයේ රැඳී සිටීමට ‘ආම් ආද්මී’ හෙවත් ‘පොදු මිනිසා’ පක්ෂය සමත් විය.

‘ආම් ආද්මී’ පක්ෂයේ ජයග්‍රහණයත් සමඟ, තව දුරටත් දිල්ලි මහ ඇමැතිවරයා ලෙස එම ධුරයේ කටයුතු කිරීමට අරවින්ද් කෙජ්රිවාල්ට යළි ජන වරමක් හිමිවිය. ‘ආම් ආද්මී’ පක්ෂයේ නායකයා ලෙස කටයුතු කරන්නේ ද කෙජ්රිවාල් ය.

දිල්ලි ප්‍රාන්ත සභා මැතිවරණය පැවැත්වූයේ ඉකුත් සෙනසුරාදා (9) ය. ඡන්ද ගණන් කිරීම සහ ප්‍රතිඵල නිකුත් කිරීම අද (11) දිනයේ සිදුවිය. අද සවස් වනවිට නිකුත් වූ ප්‍රතිඵල අනුව, ආම් ආද්මී පක්ෂය ආසන 63 ක් දිනා ගැනීමට සමත් වී තිබුණි. බහුතර බලය සඳහා දිනාගත යුතුව තිබුණු ආසන සංඛ්‍යාව 36 කි. භාරතීය ජනතා පක්ෂය දිනාගෙන තිබුණේ ආසන 7 ක් පමණි. ඉන්දියාවේ ප්‍රධාන විපක්ෂ දේශපාලන කණ්ඩායම වන කොංග්‍රස් පක්ෂය ආසන කිසිවක් දිනා සිටියේ නැත.

අරවින් කෙජ්රිවාල්, ඔහුගේ ආම් ආද්මී පක්ෂයෙන් දිල්ලි ප්‍රාන්ත සභාවේ බලය අත්පත් කර ගත්තේ 2015 වසරේ පැවැති ප්‍රාන්ත සභා මැතිවරණයෙනි. කෙජ්රිවාල් බලයට පැමිණියේ දූෂණය තුරන් කිරීමේ අරමුණින්ය.

දිල්ලි ප්‍රාන්ත වැසියන්ගේ යටිතල පහසුකම් නංවාලීමට, නොමිලේ විදුලි බලය සහ ලබා දීමට, රජයේ පාසල් දියුණු කිරීමට මහ ඇමැති කෙජ්රිවාල් සමත් විය. ඊට අමතරව, කෙජ්රිවාල්ගේ සංකල්පයකට අනුව, වීදි සායන දිල්ලිය පුරා ආරම්භ විය. එය දිල්ලි ප්‍රාන්ත සෞඛ්‍ය ක්ෂේත්‍රයේ වැදගත් ඉදිරි පියවරක් ලෙස බොහෝ දෙනාගේ පැසැසුමට හේතුවක් වී ඇත.

නවදිල්ලියේදීය (එන්.ඩී.ටීවී.)


RECOMMEND POSTS