දින 7 ක් පුරා ජනමත විමසුමක්



ව්‍යවස්ථා සංශෝධනයක් හරහා, වසර 2036 තෙක් ධුරයේ රැඳී සිටීමට රුසියානු ජනාධිපති ව්ලැදිමීර් පුටින් සූදානම් වන අතර, ඒ සම්බන්ධයෙන් ජනතා කැමැත්ත විමසීමේ ජනමත විමසුම අද (25) ආරම්භ විය.

‘කොවිඞ් 19’ වයිරස වසංගතය හේතුවෙන්, රුසියානු වැසියන්ගේ ආරක්ෂාව සහ පහසුව ගැන සලකා, ඊයේ ආරම්භවුණු ජනමත විමසුම අදියර කීපයක් යටතේ දින 7 ක් පුරා පැවැත්වෙනු ඇතැයි මැතිවරණ බලධාරීහු පවසති. මැතිවරණ බලධාරීන්ට අමතරව, සෞඛ්‍ය බලධාරීන් සහ හමුදා නිලධාරීන් ද ඡන්ද පොළ කටයුතු සඳහා යොමු කර ඇතැයි ද පැවැසෙයි.

මර්දනයට ලක් වුණු රුසියානු විපක්ෂ දේශපාලන කණ්ඩායම් පෙන්වා දෙන්නේ රුසියන් ජනාධිපතිවරයා ව්‍යවස්ථා කුමන්ත්‍රණයකට සැරැසෙන බවය. රුසියානු විපක්ෂ නායකා වන ඇලෙක්සි නවල්නී පවසන්නේ පුටින් දිවි ඇති තෙක් ජනපති ධුරයේ රැඳී සිටීමට අපේක්ෂා කරන බවය. ජනපති පුටින් ට සහාය පළ කරන රුසියානු ‘කොමියුනිස්ට් පක්ෂය’ පවා 2036 තෙක් බලයේ රැඳී සිටීමට පුටින් ගත් තීරණය සම්බන්ධයෙන් අප්‍රසාදය පළ කර තිබේ.

67 හැවිරිදි ව්ලැදිමීර් පුටින් රුසියාවේ ජනාධිපති ලෙසත්, අගමැති ලෙසත් පසුව යළි ජනාධිපති ලෙසත් බලයේ රැඳී සිටින්නේ 1999 වසරේ සිටය. පුටින්, රුසියානු කේජීබී රහස් ඔත්තු සේවයේ හිටපු නිලධාරියකි.

රුසියානු ව්‍යවස්ථාවට අනුව, ඔහුගේ ධුර කාලය 2024 වසරෙන් අවසන් වෙයි. දිගටම බලයේ රැඳී සිටීමට නම්, ව්‍යවස්ථා සංශෝධනයක් කළ යුතුව ඇත.

මොස්කව් නුවරදීය (රොයිටර්)


RECOMMEND POSTS