දරුණුම ඛේදවාචකය කොරෝනා



මනුෂ්‍ය වර්ගයාට මුහුණ දීමට සිදුවුණු දරුණුතම සෞඛ්‍ය ගැටලුව මෙන්ම ‘කොවිඞ් 19’ හෙවත් නව කොරෝනා වයිරස වසංගතය යැයි ලෝක සෞඛ්‍ය සංවිධානයේ ප්‍රධානී ටෙද්‍රෝස් ඇඞ්හැනොම් ගෙබ්‍රියේසිස් පවසයි.

ලෝක සෞඛ්‍ය සංවිධානයේ ප්‍රධානියා මේ බව කියා සිටියේ, ‘කොවිඞ් 19’ වයිරසයේ ගෝලීය ව්‍යාප්තිය සම්බන්ධයෙන් ස්විට්සර්ලන්තයේ ජිනීවා නුවර පැවැත්වුණු විශේෂ මාධ්‍ය හමුවේදීය. ලෝක සෞඛ්‍ය සංවිධානයේ මූලස්ථානය පිහිටා ඇත්තේ ජිනීවා නුවරය.

“මනුෂ්‍ය වර්ගයා නොයෙක් විදියේ ව්‍යසනවලට, බේදවාචකවලට මුහුණ දී තිබෙනවා. අභියෝග ජයගෙන තිබෙනවා. කොවිඞ් 19 හෙවත් නව කොරෝනා වයිරසය ඒ සියල්ල අභිබවා ගොස් තිබෙනවා. මානව වර්ගයාට මුහුණ දෙන්න සිදුවුණු දරුණුතම සෞඛ්‍ය ගැටලුව වන්නේ මෙයයි” යැයි ලෝක සෞඛ්‍ය සංවිධානයේ ප්‍රධානී ගෙබ්‍රියේසිස් පැහැදිලි කළේය.

“කොවිඞ් 19 හෙවත් නව කොරෝනා වයිරසයෙන් අපට ගැලවුමක් නැහැ. වයිරසය මර්දනයට එන්නතක් නිපදවූවත්, වයිරසය කාලයෙන් කාලයට හිස ඔසවාවි. ඒ නිසා වයිරසය සමඟ ජීවත් වෙන්න අප හුරු විය යුතුයි. සමාජ දුරස්ථභාවය, මුහුණු ආවරණ පැලඳීම සහ අත් නිතර පිරිසුදුව තබා ගැනීම ඉතා වැදගත්” යැයි ලෝක සෞඛ්‍ය සංවිධානයේ ප්‍රධානියා අවධාරණය කළේය.

කැනඩාව, චීනය, ජර්මනිය සහ කොරියාව වයිරසය පාලනය කර ගැනීමට ගෙන ඇති ක්‍රියා මාර්ග ලෝක සෞඛ්‍ය සංවිධානයේ ප්‍රධානියාගේ පැසැසුමට හේතුවක් විය.
‘කොවිඞ් 19’ හෙවත් නව කොරෝනා වයිරසයේ ආරම්භය සිදුවූයේ චීනයේ හුබෙයි පළාතේ වූහාන් නුවර කේන්ද්‍රකොට ගනිමිනි.

මේ වනවිට ලොව පුරා කොරෝනා ආසාදිතයන් ගණන 16,500,000 පසු කර ඇත. මරණ වාර්තා වන්නේ 6,60,000 ක් ලෙසය. වයිරසය අසාදනය වී පූර්ණ සුවය ලැබූ ගණන 10,113,000 පසු කර ඇති බව ලෝක සෞඛ්‍ය සංවිධානය නිකුත් කළ නිවේදනයක සඳහන් වෙයි.

ජිනීවාහිදීය (රොයිටර්)


RECOMMEND POSTS